Home » ප්‍රාෙද්ශීය දේශපාලන බලවතෙක් සිංහයා උල්පත රක්ෂිතය කපා වනසලා

ප්‍රාෙද්ශීය දේශපාලන බලවතෙක් සිංහයා උල්පත රක්ෂිතය කපා වනසලා

-දැව කොටස් මාස 2ක් මහ පාරේ

by sachintha
January 14, 2025 1:41 am 0 comment

කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් “සිංහයාඋල්පත” ජලපෝෂිත කලාපය හරහා ඉදිකර ඇති කාපට් මාර්ගය දෙපස ප්‍රාදේශීය දේශපාලනඥයෙකු විසින් අවිධිමත් ලෙස දැව සහ ශාක වර්ග කපා කොටා විනාශ කර මාර්ගය අවහිර කර ඇතැයි එහි ජනතාව චෝදනා කරති.

පදවිය රක්ෂිත වනාන්තරයට අයත් සිංහයාඋල්පත ප්‍රදේශයේ මාර්ගය දෙපස ඉතා වටිනා දැව සහ ශාක වර්ග තිබෙන බවත්, එම මාර්ගය දෙපස එළිපෙහෙළි කරන මුවාවෙන් මෙම විනාශය සිදුකර ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

මෙම ගස් කපා දැනට මාස දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත්, වනාන්තරයෙන් කපා බිම හෙළා ඇති ගස් කොළං කාපට් මාර්ගය අවහිරවන ලෙසට ඇද වැටී තිබේ.

කැබිතිගොල්ලෑව – පදවිය ප්‍රධාන මාර්ගයේ හේරත් හල්මිල්ලෑව හන්දියෙන් හැරී සිංහයාඋල්පත ජලපෝෂිත කලාපය හරහා කැබිතිගොල්ලෑව – වවුනියාව ප්‍රධාන මාර්ගයේ ÒවයිÓ හන්දිය දක්වා කිලෝමීටර් අටක දුරක් මෙම මාර්ගය ඉදිකර තිබෙන බවත්, එම මාර්ගය දෙපස මීට ඉහත දී සුද්ද පවිත්‍ර කරනු ලැබුවේ එම ප්‍රදේශයට අයත් ගම්මානවල ගොවි සංවිධාන සහ මරණාධාර සමිතිවල සාමාජිකයන්ගේ ශ්‍රමදායකත්වයෙන් බවත් ගම්වැසියෝ පෙන්වා දෙති.

එහෙත් හිටිහැටියේ ප්‍රදේශයේ දේශපාලන අධිකාරියට සම්බන්ධ පුද්ගලයකු හරහා මෙම මාර්ගය දෙපස එළිපෙහෙළි කර ගැනීමට හොරොව්පොතාන පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට Òසත්ත්ව කරුණාවක්Ó පහළ වීම පිළිබඳව ප්‍රදේශයේ ජනතාව මවිතය පළ කරති.

දිනකට දස දහස් ගණනක් මගීන් සහ වාහන, සිංහයාඋල්පත ජලපෝෂිත කලාපයේ පිරිසුදු උල්පත් වතුර රැගෙන යාමට ගමන් කරනුයේ මෙම කාපට් මාර්ගය ඔස්සේය. මේ වනවිට එම මාර්ගය දෙපස කපා දමා ඇති දැව කඳන් මාර්ගය අවහිර වන ලෙසට වැටී තිබීම නිසා මාර්ගයේ ගමන් කිරීම අවදානම් සහිත බව ද වැඩිදුරටත් පෙන්වා දෙන ජනතාව පවසන්නේ, වන අලි තර්ජන බහුලව තිබෙන ප්‍රදේශයක් නිසා වන අලියා ළඟටම එනතුරු මෙම කපා දමා ඇති ගස් නිසා නොපෙනෙන බවත්, රිය අනතුරු සිදුවීමේ ඉඩකඩ ද විශාල වශයෙන් ඇති නිසා මෙම මාර්ගය දෙපස කඩිනමින් එළිපෙහෙළි කර දෙන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.

මේ සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ හිටපු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආනන්ද විජේසිරි මහතා දැක්වූයේ මෙවැනි අදහසකි.

“මේක ප්‍රදේශයේ මිනිස්සුන්ට විශාල අවහිරයක්. මෙච්චර කාලයක් ගම්මානවල මිනිස්සු එකතුවෙලා පාර දෙපැත්ත සුද්ද කර ගත්තා. පාර දෙපැත්තේ තියෙන කැලෑව විතරයි මිනිස්සු කැපුවේ. දැන් ඝන වනාන්තරයත් කපලා දමලා. එහෙම කරන්න පුළුවන් හයියක් තියෙන්නේ කාට ද? කවුද මේවට අණ දුන්නේ? මම මේ සම්බන්ධව කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම්වරයාට තොරතුරු දැනගැනීමේ පනතින් ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කළා. හැබැයි ඒ ප්‍රශ්න මඟහැරලා තමයි එතුමා මට උත්තරය එවලා තියෙන්නේ. එතුමගේ උත්තරවලින් අපට සෑහීමකට පත්වෙන්න බැහැ. අඩවි වන නිලධාරිතුමා, ආණ්ඩුකාරතුමා, මහා දිසාපතිතුමා ඇතුළු බලධාරීන්ට මේ සම්බන්ධව මම ලිඛිතව දැනුම් දීලා තියෙන්නේ. “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය පටන් ගන්නකොටම මොකක්ද මේ කරන ÒමගඩියÓ?. මේවට පළාතේ බලධාරීන් උත්තර දෙන්න ඕනේ.” යැයි ඔහු පැවසීය.

මෙම මාර්ගය දෙපස එළිපෙහෙළි කළ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති කීර්ති සේනානායක මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, හොරොව්පතාන පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ඔහු ඇතුළු තිදෙනෙකුට කම්කරු පදනම යටතේ දෛනික වැටුප් ගෙවීමකට යටත්ව මෙම මාර්ගය දෙපස එළිපෙහෙළි කළ බවත්, කිසිදු වටිනා දැව වර්ගයක් ඔවුන් නොකැපූ බවත්, පාරට වැටී ඇත්තේ අකුල් පමණක් බවත්ය.

මේ සම්බන්ධයෙන් අප හොරොව්පතාන පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්මික නිලධාරි ශාන්ත මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මෙම මාර්ගය දෙපස සුද්ද පවිත්‍ර කිරීම පළාතේ වගකිවයුතු සියලු නිලධාරීන් දැනුම්වත් කොට සිදු කළ බවත්, මාර්ගයට වැටී ඇති කපා දැමූ ගස් ජේ.සී.බී. යන්ත්‍රයක් යොදා මාර්ගය දෙපසට තල්ලු කර දමා කඩිනමින් එළිපෙහෙළි කර දෙන බවයි.

කැබිතිගොල්ලෑව විශේෂ හේමන්ත රණසූරිය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT