Home » තෛපොංගල් දිනය අදයි

තෛපොංගල් දිනය අදයි

by sachintha
January 14, 2025 7:40 am 0 comment

ලෝකවාසී හින්දු ජනතාව මහත් ප්‍රීතියෙන් සමරන තෛපොංගල් දිනය අදට (14) යෙදී තිබේ. කෙත් වතු සාරවත් කර සශ්‍රීකත්වය වෙනුවෙන් කැපවුණු හිරු දෙවියන්, මහී කාන්තාව, වැසි දෙවියන් සහ අස්වනු නෙළීමට උපකාර වූ ගවයන්ට කෘතඥ වීම පිණිස අවුරුදු 2000කට අධික ඉතිහාසයක සිට හින්දු ජනතාව තෛපොංගල් සමරනු ලැබේ. ‘පොංගු’ හෙවත් ඉතිරී යෑම යන අර්ථය ලබාදෙමින් හින්දු ජනයා අලුත් මැටි මුට්ටියක කිරි උතුරවා එහි පොංගල් බත පිළියෙල කරයි. පොංගල් බත මෙම උත්සවයේ ප්‍රධානතම ආහාරය වන අතර කිරි ඉතුරා යෑම සුබ ලකුණක් ලෙස ඔවුහු විශ්වාස කරති. රසවත් ආහාරයක් වන පොංගල් බත පිළියෙල කිරීම සඳහා හාල්, හකුරු, ගිතෙල්, මිදි යොදාගන්නා අතර එය ලොකු කුඩා මහලු සෑම අයකුම ප්‍රිය කරන ආහාරයක් ද වේ.

මෙම උත්සවය දින කිහිපයක් පුරා පවත්වන අතර එහි පළමු දිනය ‘භෝගි පොංගල්’ නම් වේ. නි‍ෙවස පිරිසුදු කිරීම, මල් මාලා සැකසීම, කෙසෙල්, අඹ අතු එල්ලීම මෙන්ම අලුත් ඇඳුම් මිලට ගැනීම ද මෙම භෝගි පොංගල් පරණ අවුරුද්දෙ අවසන් දිනයේ සිදු කරයි. පොංගල් දිනයේ දෙවැනි දින 14 වැනිදාට යෙදෙන අතර මෙදින උදයෙන්ම අවදිවන කාන්තාවන් නිවෙස පිරිසුදු කර මිදුලේ කෝලම් රටාවලින් වර්ණවත් කරයි. මෙම කෝලම් රටා ඇඳීමට මොවුන් හාල් පිටි වර්ණගන්වා භාවිත කරයි. අනතුරුව අලුත් වස්ත්‍රාභරණයෙන් සැරසී පොංගල් බත පිළියෙල කරයි. පිළියෙල කළ ආහාර, පළමුව ඉරු දෙවියන්ට, ඉන්ද්‍ර දෙවියන්ට සහ උපේන්ද්‍ර දෙවියන්ට පූජා කරයි.

මාට්ටු පොංගල් යනු තෛපොංගල් දිනයට පසු දින වේ. ‘මාට්ටු’ යනු දමිළ භාෂාවෙන් ගවයන්ට කියනු ලබන නාමයයි. මෙදින තමන්ගේ ගොවිතැන් කටයුතු සඳහා දායක වූ ගවයන් ස්නානය කර පිරිසුදු කර කහ වතුර ගල්වා අං ඔප දමා ඒවායෙහි පිත්තල කොපු සවි කර ආහාර ලබා දීම සිදු කරයි.

තෛපොංගල් උත්සවයේ අවසන් දිනය “කානුම් පොංගල්” නම් වන අතර මෙදින නෑගම් යෑම සඳහා වෙන් කර තිබේ. ලොව පුරා බොහෝමයක් රටවල් තුළ මෙදින රජයේ නිවාඩු දිනයක් ලෙස ද වෙන්කර තිබේ.

මලිඳු තෙන්නකෝන්

ඡායාරූපය – නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT