Tuesday, April 8, 2025
Home » ඉදිරි වසර දහයේ රටට ණය නොවන මුදල් ගලා ඒම වැඩි කර ආර්ථිකය වර්ධනය කළ යුතුයි

ඉදිරි වසර දහයේ රටට ණය නොවන මුදල් ගලා ඒම වැඩි කර ආර්ථිකය වර්ධනය කළ යුතුයි

-අපට ඒ සඳහා ණය සහන උපයෝගී කරගත හැකි බව මුදල් අමාත්‍යාංශ ලේකම් කියයි

by sachintha
January 14, 2025 1:01 am 0 comment

ශ්‍රී ලංකාව ආපසු ගෙවිය යුතු දෙස් විදෙස් ණය සඳහා මේ වන විට ලැබී ඇති ණය සහන උපයෝගී කර ගනිමින් ඉදිරි වසර දහයේ රටට ණය නොවන මුදල් ගලා ඒම වැඩි කර ගනිමින් ආර්ථිකය වර්ධනය කළ යුතු බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා අවධාරණය කළේය. විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ඇතුළු ඉදිරි ආර්ථික කටයුතු සැලසුම් කර ඇති පරිදිම සිදු වුවහොත් 2028 වසර නිමාවන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 15.4%ක් දක්වා වැඩි කර ගත හැකි බවද ඔහු පෙන්වා දෙයි.

ඊට අමතරව 2028 වසර නිමාවන විට මෙරට දළ විදේශීය නිල සංචිතය එක්සත් ජනපද ඩොලර් බිලියන 15.1ක් දක්වා වැඩි වනු ඇතැයිද ලේකම්වරයා පවසයි.

මෙවැනි අගයකට රටේ ආර්ථිකය ගමන් කළහොත් ආපසු ගෙවීමට ඇති ණය හා වාරික මුදල් කිසිම අපහසුතාවකින් තොරව පියවා දැමීමට ශ්‍රී ලංකාවට හැකි වන බවද ලේකම්වරයා කියයි.

එවැනි සාර්ථක ගමනක් කරා ශ්‍රී ලංකා ආර්ථිකය රැගෙන යාමට අනිවාර්යයෙන්ම බාහිර බලපෑම්වලට නතු නොවී සහ බාහිර කම්පනයන්ට ඔරොත්තුදීමේ හැකියාව වැඩිදියුණු කර ගත යුතුය.

එහිදී ශ්‍රී ලංකාව රටේ ආනයන අපනයන ආදායම අනිවාර්යයෙන්ම වැඩි කරගත යුතුය. ඊට අමතරව සෘජු විදේශ ආයෝජන ළඟාකර ගත යුතුය. රටේ අපනයන ආදායම වැඩිකර ගැනීමේ උපායමාර්ගික සැලැස්ම ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් සක්‍රිය කර ගැනීම හරහා කළ යුතුය.

ඊට අමතරව ගෝලීය අගය දාමයන් සමඟ අපගේ නිෂ්පාදන ඒකාබද්ධ කළ යුතුය. එහිදී ඇතිවන බලපෑම් බාධක සමනය කර ගනිමින් අපනයන ආදායම වැඩි කර ගැනීමට දියුණු ශ්‍රමය, ඉඩම්, ප්‍රාග්ධනය, ඵලදායිතාව ඉහළ නංවා ආර්ථිකය ඩිජිටල්කරණය කිරීම වැනි දේ වේගවත්ව කළ යුතුය. දැනට නොසලකා හැර තිබෙන කෘෂිකර්මාන්ත අංශයේ සේවා පිළිබඳ අවධානය යොමු කරමින් ඒවා වාණිජ ව්‍යාපාර බවට පරිවර්තනය කළ යුතුය. රටට එන ආයෝජන පහසු කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා එම ක්ෂේත්‍රයේ පවතින ආයතනවල ප්‍රතිසංස්කරණ කළ යුතුය. නීති රීති අලුත් කළ යුතුය. වෙළෙඳ සාකච්ඡා පුළුල් කළ යුතුය. ඵලදායිතාව ඉහළ නැංවිය යුතුය.

ඊට අමතරව දූෂණය, නාස්තිය, වංචාව අවම කර ඒ සඳහා පවතින ආයතනික රාමුව ශක්තිමත් කර ආයෝජන විශ්වාසය රැකෙන පරිදි එහි පුළුල් ප්‍රතිසංස්කරණ සිදුකිරීම අතවශ්‍ය බව මහින්ද සිරිවර්ධන මහතා අවධාරණය කර සිටියි.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT