Wednesday, April 23, 2025
Home » රටම පිරිසුදු කිරීමට කාලය දැන් හරි
විවරණ

රටම පිරිසුදු කිරීමට කාලය දැන් හරි

by sachintha
January 14, 2025 3:25 am 0 comment

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන මඟින් මෙරට තුළ ඇතිවන වෙනස්කම්, එහි ඇති වැදගත්කම, ඇතැමුන් ඒ සඳහා එල්ල කරනු ලබන චෝදනා කෙතෙක්දුරට තාර්කික ද යන්න පිළිබඳ මහාචාර්ය නිශාන් සකලසූරිය මහතා දැක්වූ අදහස් ඇසුරින් මේ ලිපිය සැකසුණි.

ක්ලීන් ශ්‍රී ලංකා” යනු මෙරට ක්‍රම වෙනසක් සඳහා අවශ්‍ය කරනු ලබන සමාජ තත්ත්වය නිර්මාණය කරනු ලබන වැඩසටහනකි. මෙහි අංශ තුනක් ඇතුළත්ව තිබේ.

ජාතික ජන බලවේගය ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති තුළ ද “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිළිබඳ සහ ඒ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම මඟින් රටට උදා කර ගතහැකි වෙනස පිළිබඳව පැහැදිලි ලෙස සඳහන් කර තිබේ. එම වැඩසටහන මෙරට සියලු අංශ පිරිසුදු කිරීම හෙවත් “ක්ලීන් කිරීම” අරමුණු කර ගෙන ක්‍රියාත්මකව තිබේ. එම වැඩපිළිවෙළ 2025 වර්ෂය ආරම්භ වූ ජනවාරි පළමුවැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹි මෙම කෙටි කාලය තුළ මේ පිළිබඳ විශාල සමාජ අවධානයක් ඇතිව තිබුණ ද එහි බැරෑරුම් අර්ථය පිළිබඳ නිසි තක්සේරුවක් තිබේ ද යන්න ගැටලු සහගතය. “ක්ලීන් කිරීම” යැයි කියූ විට බොහෝ අය සිතන්නේ පරිසරය පිරිසුදු කිරීම පමණක් “ක්ලීන් ශ්‍රී ලංකා” යැයි සිතාය. එහෙත් “ක්ලීන් ශ්‍රී ලංකා” යනු එම කුඩා වපසරිය ඉක්මවා යන මහා වැඩසටහනක් ලෙස සඳහන් කළ හැකිය.

පරිපාලක ව්‍යුහය, මහජන නියෝජිතයන්, මහජනතාව ජනාධිපති ඇතුළු සියලු පාර්ශ්ව මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට එක්විය යුතුය. එහෙත් ඒ තත්ත්වය සියලු දෙනා පූර්ණ ලෙස තේරුම් ගෙන තිබේ ද යන්න වෙනම සලකා බැලිය යුතුය.

දේශපාලන අධිකාරිය බොහෝ අංශවල ජයග්‍රහණවල වාසිය ලබා ගැනීම සඳහා උත්සුක වේ. උදාහරණයක් ලෙස යුද ජය සාමූහික ප්‍රයත්නයක් නිසා ලබා ගත් ජයක් වුවද එවක සිටි ජනාධිපතිවරයා සහ දේශපාලන අධිකාරිය සඳහන් කළේ තමන්ගේ නායකත්වය නිසා යුද ජය ලැබූ බවය.

එහෙත් ජනතාව විශ්වාස කරන ලද කරුණ බවට පත්ව තිබුණේ ජයග්‍රහණය මෙන්ම පරාජයේ වගකීම ද දේශපාලන අධිකාරිය භාර ගතයුතු බවයි. පසුගිය කාලයේදී දේශපාලනඥයන් වෙත බලවත් විරෝධයක් මතුව ආවේ ද ඒ කරුණු මූලිකවය. එහෙත් දේශපාලන හැසිරීම් මතම රාජ්‍යයේ සාර්ථක – අසාර්ථකභාවය තීරණය වන බව පැවසීම නිවැරැදි නොවේ. රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික අංශය, දේශීය රාජ්‍ය නොවන සංවිධාන, විදේශීය රාජ්‍ය නොවන සංවිධාන, අන්තර් ජාතික මූල්‍ය අරමුදල වැනි ඉහළපෙළේ ආයතන ඇතුළු සමස්ත යන්ත්‍රණය රටක සාර්ථකභාවය වෙත ගෙන යාමට විශාල කාර්යභාරයක් කරනු ලබයි.

පසුගිය කාලයේදී කෝප් කමිටුව ඉදිරියේ පෙළගැසුණු කරුණු පිළිබඳ සලකා බැලුවහොත් මෙරට රාජ්‍ය අංශයේ දූෂිත භාවය කෙතරම් ද යන්න තහවුරු කර ගැනීමට පුළුවන. ඒ නිසා චෝදනාවන් දේශපාලන අංශයට පමණක් බැර කිරීම සාධාරණ නැත. රාජ්‍යයේ යහපැවැත්ම සඳහා සියලු අංශ එකට එක්විය යුතුය. සිදුවිය යුත්තේ ඉහළ සිට පහළට පිරිසුදු කිරීමය. එහෙත් මෙතෙක් කල් සිදු නොවුවේ ද එයයි. එහෙත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියල්ලන්ටම සමාන තත්ත්වයක් ගොඩ නඟන, සැමට නීතිය සමාන ලෙස ක්‍රියාත්මක කරන රාජ්‍ය ක්‍රමයක් වෙත රට පරිවර්තනය කරමින් සිටියි. “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩපිළිවෙළ මඟින් පුනරුද යුගයක් සඳහා අවශ්‍ය මාර්ගය විවර වන්නේ එසේය.

පොලිස් නිලධාරීන්ගේ සිට විදුහල්පතිවරුන් ඇතුළු සියලු නිලධාරීන් වඩාත් හොඳ සේවාවක් වෙත යොමු විය යුතුය. බස් රථ රියැදුරන් ද වෙනස් විය යුතුය. මාර්ග විනය ඉහළ නැංවීම යනු ඒ සඳහා වූ වැඩපිළිවෙළයි. එක් එක් අයට බලය ලැබීම වෙනුවට ජනතාව වෙත බලය ලැබෙන ක්‍රමයක් ක්‍රියාත්මක විය යුතුය.

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන තුළ සමාජ කතාබහකට ලක්ව තිබෙන සහ එක් පිරිසක් අගයන සහ තවත් පිරිසක් විරෝධය පළ කරන මාර්ග විනය ගොඩනඟන සහ රථ වාහන වැරදි අවම කිරීමට ඇති කර තිබෙන ක්‍රියාමාර්ග ගැන සඳහන් කළ යුතුය.

අප රටේ දෛනිකව වැඩිම පිරිසක් මියගියේ යුද සමයේදීය. එහෙත්, රිය අනතුරු නිසා වර්තමානයේ දී දිනකට පුද්ගල මරණ හතක් පමණ සිදුවේ. සදාකාලික ආබාධිත වීම් සහ අර්ධ ආබාධිත වීම් ද විශාල ප්‍රමාණයක් සිදුවේ. සිදුවන මරණ හතකින් හතරක්ම අවුරුදු තිහට අඩු තරුණ පුද්ගලයන්ය. මේ නිසා රටට අහිමි වන්නේ, ආර්ථික වශයෙන් රටට යම් වැඩකොටසක් ඉටු කළ හැකි තරුණ කොටස්‍ ය. මේ අනතුරුවලට මූලික වන වාහන වර්ග හතරකි, යතුරුපැදි, බස් රථ, ත්‍රිරෝද සහ ටිපර් රථය.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක්

වාහන අලංකරණය නවතාලීමට “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩපිළිවෙළට සමගාමීව පොලීසිය වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. මේ වැඩපිළිවෙළ වෙත ඇතැමුන් නොදැනුම්වත්කම නිසා සහ තවත් පිරිසක් දැනුම්වත්වම විරෝධය පළ කරති. එහෙත් එම විරෝධය සාධාරණ නැත.

සාමාන්‍යයෙන් නිෂ්පාදකයන් වාහනයක් සැලසුම් කරන්නේ විද්‍යාත්මක ලෙසය. ත්‍රිරෝද රථයක් වෙත නුසුදුසු මොඩිෆයි කිරීමක් කළහොත් එමඟින් රථය පෙරළී යාමේ හෝ සමබර බව ගිලිහී යාමට ඉඩ ඇත. රේසින් කාර් රථයක කොටස් මහමග ගමන් කරන වාහනයක් වෙත සවිකිරීම මෙන්ම ඕෆ් රෝඩ් වාහනයක් ලෙස මහමග ගමන් කරන වාහනයක් සකස් කිරීම ද අනතුරක් වෙත අතවැනීමකි. එහෙත් මේ භයානක අනතුර තේරුම් නොගත් සමහර සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන මාධ්‍ය ද මේ වැඩපිළිවෙළ විහිළුවට ගෙන කටයුතු කරති. ඒ තුළ විවිධ දේශපාලන අරමුණු තිබිය හැකිය. විහිළුවට ලක් කිරීම නුසුදුසු වන අතර තම දේශපාලන අදහස කුමක් වුවද හරි දේට උපරිම සහාය ලබා දීම කාලෝචිතය.

අද ඉහළට මෙන්ම පහළට ද ක්‍රියාත්මක වන්නේ සමාන නීතියකි. ආණ්ඩු පක්ෂය කියා විශේෂ වරප්‍රසාද නීතිය ඉදිරියේ නැත. පොලීසිය වෙත දුරකතන ඇමතුම් එන්නේ ද නැත. වරදක් කළා නම් හිටපු තානාපති, හිටපු ඇමැති, වර්තමාන ඇමැති කියා වෙනසක් නැත. සැමට සමානව නීතිය ක්‍රියාත්මක වෙමින් තිබේ. “ක්ලීන් ශ්‍රී ලංකා” හි ප්‍රධාන අරමුණු අතර එය ද ප්‍රධානතම අරමුණකි. රටක් දියුණු වීමට නීතිය නිසියාකාරව සැමට සමාන ලෙස ක්‍රියාත්මක වීම කළ යුතුය. නීතියේ ආධිපත්‍යය සුරැකීම “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” සඳහා අනිවාර්ය අංගයකි.

ඩෙංගු මදුරුවාගේ විනාශය ප්‍රාර්ථනා කරන පිරිස්ම වගාවට හානි කරන රිළවා පිටරට යැවීමට විරුද්ධ වෙති. මේ ආණ්ඩුව පමණක් නොව පසුගිය ආණ්ඩුවලටද මේ තත්ත්වය වෙත මුහුණ දීමට සිදුවිය.

එනිසා ජාතික වශයෙන් සිදුවන ගැටලුවලදී දැඩි තීරණ ගැනීම කළ යුතුය. “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩපිළිවෙළ තුළ එවැනි අංග ද ඇතුළත්ව තිබේ. එහෙත් ගන්නා තීරණ විද්‍යාත්මකව සලකා බලා ගැනීම කළ යුතුව තිබේ. හදිසියට වඩා තිබිය යුත්තේ මේ වැඩපිළිවෙළ කෙතෙක් දුරට නිවැරැදි සහ තිරසර ලෙස ක්‍රියාත්මක වේද යන්නය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස සිටියදී ගත් හොඳ තීරණයක් වූයේ කාබනික ගොවිතැන ආරම්භ කිරීමය. එය හොඳ දෙයකි. එහෙත් එක රැයකින් රසායනික පොහොර තහනම් කිරීමත් සමඟ ඇතිවූයේ මහා අර්බුදයකි. අද පවා සහල්, පොල් ඇතුළු වගා වෙත හානිකර ලෙස බලපා ඇත්තේ එදා ගත් ඒ දඩිබිඩි තීරණයයි.

“ක්ලීන් ශ්‍රී ලංකා” සඳහා ඒවා පිරිසුදු කිරීම පමණක් නොව නිසි කලට නිසි වේලාවට ධාවනය කිරීම ද ඇතුළත්ව තිබේ. බස් රථ රියැදුරු විනයවත් ධාවකයකු වීම, මත්පැන් මත්ද්‍රව්‍යවලින් තොරව රැකියාව කිරීම හොඳ විනයවත් රියැදුරකු ලෙස කටයුතු කිරීම ද ඇතුළත්ව තිබේ.

රෝහලේ වෛද්‍යවරුන්, සරසවි ආචාර්යවරු මෙන්ම සමාජයේ සෑම තරාතිරමකම පිරිස් නිසි ලෙස තම වගකීම් ඉටු කළ යුතුය. “ක්ලීන් ශ්‍රී ලංකා” අරමුණු සපුරාලිය හැක්කේ එවිටය. අපගේ සාමාන්‍ය සමාජය දෙස විමසා බලද්දී තවමත් යාවත්කාලීන නොවූ පිරිසක් සිටිති. හැඳුනුම්පතක් නැති, ඒ නිසා බැංකු පොතක් හදා ගැනීමට නොහැකි පිරිස් ද ඒ අතරය. “ක්ලීන්

ශ්‍රී ලංකා” යනු ඒ අඩුපාඩු හඳුනාගෙන ඒවා ද නිවැරැදි කර ගැනීමය. එමඟින් සමාජය නඟාසිටුවීමට පුළුවන.

අල්ලස් ගැනීම සියයට අසූවකින් අඩුවෙලා

එහෙත් ඇතැම් මාධ්‍ය සහ පුද්ගලයෝ කලබලයට පත්ව සිටිති. ඔවුන් ඒ දේ සමාජය වෙත දනවන්නේ වාහන අලංකරණය නැවැත්වීමට විරුද්ධ වීම වැනි දේ පෙන්වමිනි. මත්කුඩු මෙල්ල කිරීමේ මෙහෙයුම් ද “ක්ලීන් ශ්‍රී ලංකා” නිසා වේගයෙන් ක්‍රියාත්මක වේ. එහෙත් ඒ මෙහෙයුම් නවත්වන්න ලෙස කීමට කිසිවකුට නොහැකිය. ඒ නිසා ඔවුහු “ක්ලීන් ශ්‍රී ලංකා” වෙත වෙනත් දේ පෙන්වමින් විරුද්ධ මත ගොඩනැඟීමේ කාර්යයේ නිරතව සිටිති.

මේ වැඩපිළිවෙළ නිසා මෙරට අල්ලස් ගැනීම සියයට අසූවකින් අඩුව තිබේ. එය හොඳ ප්‍රවේශයක් ලෙස සඳහන් කිරීමට පුළුවන.

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩපිළිවෙළ වැනි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම මඟින් බොහෝ රටවල් දියුණුවට පත්ව තිබේ. විනය, පරිසරය සුරැකීම, පිරිසුදු භාවය ඇතුළු කරුණු මෙයට ඇතුළත්ව තිබේ. ලෝකයේ බොහෝ රටවල් අලුත් පරිවර්තන යුග වෙත ගමන් කළේ මෙවන් දෑ ඔස්සේය. චීනය, කොරියාව, හොංකොං, බ්‍රසීලය, නයිජීරියාව මෙන්ම ඉන්දියාව ද දියුණුව වෙත ගමන් කළේ මෙවැනි මාර්ග ඔස්සේය. අප රටට ද දැන් එළඹ ඇත්තේ එවැනි අවස්ථාවකි. රට තුළ විශාල දේශපාලන පරිවර්තනයක් ඇතිව තිබේ. ඒ නිසා දැන් කළ යුතුව තිබෙන්නේ මේ පරිවර්තනය රටට වැඩදායක ලෙස යොදා ගැනීමය.

සියලු අංශවලින් සිදුවන අතපසුවීම් වළක්වා ගැනීම ද කළ යුතුය. එමෙන්ම මේ වැඩපිළිවෙළට සමගාමීව දේශීය නිෂ්පාදන ඉහළට නැංවීම සිදු කිරීම ද ආරම්භ කර තිබේ. උදාහරණයක් ලෙස පොල් තෙල් ආනයනය නවතා දේශීය පොල්තෙල් කර්මාන්තය නැංවීම මඟින් සුවපත් ජනතාවක් මෙන්ම ඩොලර් ද අපේ රට තුළ රඳවා ගැනීමට පුළුවන. “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩපිළිවෙළ යනු තවත් එක් වැඩපිළිවෙළක් නොව “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” නිර්මාණය කරන ආණ්ඩුවේ ක්‍රියාන්විතයේ පෙරමුණු බලයයි.

උදිත ගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT