Sunday, April 6, 2025
Home » කොළපතෙන් මැවෙන අමුතු වැඩ

කොළපතෙන් මැවෙන අමුතු වැඩ

by sachintha
January 14, 2025 1:38 am 0 comment

පුවක්‌ හා බැඳුණු හෙළ සංස්‌කෘතිය අගනේය. අතීතයේ ගොවියා ද, කරත්තකරුවා ද, පතල්කරුවා ද, පෙදරේරුවා ද, කම්මල්කරුවා ද, බඹර කපන්නා ද, ගල් වඩුවා ද, අතුරේ යන්නා ද, රා මදින්නා ද, දඩයම්කරුවා ද, ධීවරයා ද, රෙදි අපුල්ලන්නා ද වශයෙන් මෙකී නොකී සෑම තරාතිරමකම රැකියාවල නියුතුවූවන් තම විඩාව සංසිඳුවා ගන්නට බුලත්විටකින් සප්පායම් වීම පෙරදා ජන ජීවිතයේ අනිවාර්ය අංගයක්‌ව පැවතිණි. අතීතයේ කිසියම් ආගන්තුකයකු, අසල්වැසියකු හෝ පිටගම් කාරයකු නි‍ෙවසට පැමිණි විට “ආගන්තුක සත්කාරයට” පෙළගැසෙන්නේ තේ කෝප්පයක්‌ හා බුලත්විටකුත් සමඟය.

පුවක්‌ අත්තේ “කොළපත” ද ජන ජීවිතයේ විවිධ අවස්‌ථාවල ප්‍රයෝජනයට ගැනිණි. කොයිහැටි වෙතත් වී ගොවිතැනේ ද වෙනත් ගොවිතැන් කටයුතුවලදී ද කුඹුරේදී කමතේදී හෝ හේනේදී රවුමට කැපූ කොළපත් පිඟානකින් තම කෑම වේල සප්පායම් වීම ද අතීතයේ සුලබව දක්‌නට ලැබිණි. රවුම් බෙලෙක්‌ පිඟානක්‌ කොළපතක්‌ මත තබා සමහර දිගු කොළපතකින් එවැනි පිඟන් දෙකක්‌ හෝ තුනක්‌ කපා ගැනීමට හැකිවිණි. කොළපත් පිඟාන මතට කැන්ද කොළයක්‌ හෝ කෙසෙල් කොළයක්‌ එළා ගැනීමෙන් එම කෑම වේලට අමුතුම රසයක්‌ ද එක්‌වන බව අතීත ගැමියෝ දැන සිටියහ. කොළපත ගැමි ජීවිතයට සමීප වූයේ එලෙසිනි.

කෙසේ නමුත් අද වනවිට පුවක් ගසේ කොළපතෙන් වැඩදායී නිර්මාණයක් කරන පිරිස් දුලභය. නමුත් එවැනි වර්තමාන සමාජයක කිසිවකුගේ නෙත් නොගැටී අපතේ යන පුවක් ගසෙන් හැලෙන කොළපත පරිසර හිතකාමී ආර්ථික නිෂ්පාදනයක් සඳහා යොදා ගන්නා දිරිය මහත්මයකු අපට ගලේවෙල ප්‍රදේශයෙන් හමුවිය. ඔහු නමින් සරත් කුමාරය. ඔහු පුවක් ගසෙන් හැලෙන කොළපත හා ගස්වලින් හැලී යන අනෙකුත් ශාක පත්‍ර අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන කෑම පෙට්ටි, පිඟන් සහ තවත් නිෂ්පාදන සිදු කර අලෙවි කරයි. ආහාර අසුරණයක් ලෙස කොළපත අතීතයේදී ද භාවිතයට ගෙන ඇති නිසා වර්තමානයේ ශ්‍රී ලාංකිකයාට ද, අතීත ජනතාව මෙන් මෙය ක්‍රියාත්මක කළ හැකිය.

“මුල් කාලීනව මේ ව්‍යාපාරය මහා පරිමාණව සිදු කළේ නැහැ. ඒ අනුව මුලින්ම කැන්ද කොළ, කෙසෙල් කොළ වගේ තරමක් විශාල ශාක පත්‍රවලින් තමයි හදන්න පටන් ගත්තෙ. විශේෂයෙන් ලංකාව වගේ රටක කෑම රටාවත් එක්ක, බත් බෙදා ගනිද්දි එහෙම ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය නිසා ශාක පත්‍රවලින් පුවක් කොළපතට මාරු වුණා. තවත් කරුණක් කියන්න ඕන, ලංකාවේ ප්ලාස්ටික්, පොලිතීන් භාවිතයේ වැඩිවීමත් එක්ක පරිසර දූෂණයත් වැඩි වුණා. ඒ නිසා ලංකාව තුළ ප්ලාස්ටික්, පොලිතීන් භාවිතය යම් තරමකටවත් සීමා වේවි කියන අදහසින් මේ ව්‍යාපාරය ආරම්භ කරන්නත් හේතුවක් වුණා.”

යනුවෙන් සරත් කුමාර මහතා ව්‍යාපාරයේ ආරම්භය පිළිබඳව සඳහන් කළේය. ඉන් අනතුරුව පුවක් කොළපත නිෂ්පාදනයන් සඳහා යොදා ගන්නා ආකාරය පිළිබඳවත් සරත් කුමාර මහතා මෙසේ අදහස් දැක්වූයේය.

“මම යාන්ත්‍රික ඉංජිනේරුවරයෙක්. ඒ නිසා යාන්ත්‍රික දැනුම මට තිබෙනවා. මේ පුවක් කොළපතෙන් පිඟන්, කෝප්ප හා අනෙකුත් නිෂ්පාදන හදන්න අවශ්‍ය වන පරිදි මම යන්ත්‍ර නිර්මාණය කළා. නිෂ්පාදන හදන්න භාවිත කරන යන්ත්‍ර හදන්න ඇලුමිනියම් පවා උණු කිරීමේ සිට සියලු වැඩ කටයුතු සිදු කළේ මමයි.”

“ගසෙන් වැටෙන කොළපත පිරිසුදු කරලා, වාෂ්පයෙන් තම්බලා අරගෙන තමයි යන්ත්‍රයට ඇතුළු කරන්නෙ. පස්සේ තෙරපුම් යන්ත්‍රය මඟින් පීඩනයට පත් කර ගන්නවා. නිෂ්පාදනයේ හැඩය ගත්තට පස්සේ වටේට තියෙන වැඩිපුර කොළපත් කොටස යන්ත්‍රය මඟින්ම කපා ඉවත් කර ගන්නවා.”

“කොළපතේ දෙපැත්තක් තියෙනවා. ඉන් එක පැත්තක වතුර උරා ගන්නවා. අනිත් පැත්තේ වතුර උරා ගන්නේ නැහැ. කොළපත් පිඟන්වල දාරයන් එක් වන සේ පිඟන් දෙකක් එකට එකතු කරලා හදන නිසා නැමෙන්නේ නැහැ. හොඳ කල්පැවත්මකුත් තිබෙනවා.”

තිරසර සංවර්ධනය කේන්ද්‍ර කරගෙන දිනෙන් දින දියුණු වන ලෝකයේ, පරිසර හිතකාමී නිෂ්පාදනයන්ට හිමිව ඇත්තේ ඉහළ ඉල්ලුමකි. මේ අනුව ලංකාවේ 100% ස්වාභාවික කොළපත්, කැන්ද, කෙසෙල් ඇතුළු පරිසරයෙන් දායාද වූ දේ අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන සකස් කරන නිෂ්පාදන රැසක් හඳුන්වා දී තිබේ.

“මම 2005 වසරේ දී බුද්ධිමය දේපළ ආඥා පනත යටතේ ඉල්ලීමක් කරලා පේටන්ට් බලපත්‍රය මගේ නමට ලබාගෙන තිබෙනවා. මට, ලංකාව පුරා කර්මාන්ත 06ක් තිබෙනවා. ඒ සෑම කර්මාන්තයක්ම තිබෙන්නේ කොළපත් වැඩිපුර හොයාගන්න පුළුවන් ප්‍රදේශවලයි. ඒ අනුව බදුල්ල, ලකේගල, වහකෝට්ටේ, ගලේවෙල ඕමාරගොල්ල, නිවිතිගල හා නාරම්මල යන ප්‍රදේශවල කර්මාන්ත තිබෙනවා. මේ සෑම කර්මාන්තයකම කොළපත් එකතු කරලා ගෙනවිත් දෙන අය 600කට වැඩි පිරිසක් ඉන්නවා.

“ජර්මනිය, නෙදර්ලන්තය, මාලදිවයින වගේ රටවල්වලින් මේ වගේ පරිසර හිතකාමී නිෂ්පාදනවලට හොඳ ඉල්ලුමක් තිබෙනවා. ලංකාවේ සංචාරක හෝටල්, කෑම සකස් කරන තැන්, මල් වට්ටි පූජා කරන්න වගේම නි‍ෙවසේ පරිහරණයට, නිවාඩු නිකේතනවලට, ආපණ ශාලා, අලංකරණ කටයුතු හා අපනයනයට වැනි ආකාරයෙන් තවත් බොහෝ අවශ්‍යතා සඳහා ඇනවුම් ලැබෙනවා.”

“පරිසරයට වැටෙන කොළපත් එකතු කළේ නැත්නම් ඒවායේ වතුර රැඳිලා මදුරුවෝ බෝ වෙනවා. මේ වගේ නිෂ්පාදන කිරීම නිසා ඒ තත්ත්වයන් වැළකෙනවා. මේ වගේ පාරිසරික වශයෙන් වාසිසහගත දේවල් ගොඩක් තිබෙනවා. මේ ව්‍යාපාරය කරගෙන යන්නත් ගැටලු තිබෙනවා. විශේෂයෙන් වැහි කාලයට කොළපත් ගබඩා කරලා තබා ගන්න ටිකක් අමාරුයි. ඒ වගේම වාණිජ කටයුතු සඳහා වන විදුලි බිල. මෙවැනි හේතූන් නිසා මහන්සියේ තරමට ලැබෙන ආදායමේ අඩුවක් තිබෙනවා. ”

යනුවෙන් සරත් කුමාර මහතා තම ව්‍යාපාරය පිළිබඳව අදහස් දැක්වීය.

භාවිතයෙන් පසුව ඉවත දැමුවත් පරිසර හානියකින් තොරව දිරාපත් වන මෙවැනි නිෂ්පාදනවලට වර්තමාන සමාජය තුළ වැඩි ඉල්ලුමක් ඇති විය යුතුය. මෙම තත්ත්වය සෞඛ්‍යයට ද හිතකර ප්‍රතිඵල ගෙන දෙන බව සඳහන් කළ යුතුය.

එම්. තාරික්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT