පලතුරු ලොවේ රජු කියූ සැණින් බොහෝ දෙනකුට මතකයට නැඟෙන්නේ දූරියන්ය. අග්නිදිග ආසියානුවන් අතර මේ කියමන වඩාත් ප්‍රසිද්ධය. එහෙත් දූරියන්, ගුණය අතින් ඉහළ පලතුරක් වුව ද බොහෝ අය එහි කටුවේ ඇති සුවඳ හේතුවෙන් කෑමට අකැමැත්තක් දක්වති. මෙවර ‘විස්කම්’ වෙතින් කියන්නට යන්නේ දූරියන්වලට අකමැති අය පවා දූරියන් කෑමට හුරු කරවන තරුණ ව්‍යවසායිකාවක් ගැනය.
හිමාලි සුරවීර නම් මේ තරුණ ව්‍යවසායිකාව පදිංචිව සිටින්නේ නුවර මයිලපිටියේය. මහනුවර තාක්ෂණ විද්‍යාලයේ ආහාර තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමාධාරිනියක් මෙන්ම රත්මලාන, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන හිමාලි මේ වන විට දූරියන්වලින් නිෂ්පාදන ගණනාවක් සෑදීමට සමත් වී තිබේ. ඒ වගේම ලංකාවේ එකම සහ ප්‍රථම දූරියන් නිෂ්පාදන පෙළේ මෙන්ම හිමිකාරිණියත් හිමාලි සුරවීර වීම විශේෂත්වයකි.
ඇය මෙතැනට පැමිණීමට අපමණ වෙහෙසක් දරා ඇත. ප්‍රතික්ෂේප වීම්, කඩා වැටීම් මෙන්ම බොහෝ බාධක මැද ඇය පැමිණි ගමන් මඟ ‘විස්කම්’ වෙත මෙසේ පවසා සිටියාය.
“ඇත්තටම මමත් ඉස්සර දූරියන් කන්න අකමැති කෙනෙක්. ඒත් පස්සෙ දවසක මම දූරියන් කන්න ගත්තම අනිත් අයටත් වඩා ආශාවෙන් කන්න ගත්තා. මිනිස්සු මේ වගේ ගුණ දෙයක් කන්නෙ නැත්තෙ අපරාධෙනෙ කියන දේ මගෙ ඔළුවෙ නිතරම තිබුණා. ඉතින් අවස්ථාව ලැබුණු ගමන් මම දූරියන් කන්නෙ නැති අයට කන්න පුළුවන් ප්‍රඩක්ට් එකක් විදිහට කන්සෙප්ට් එකක් ඉදිරිපත් කළා. ඒ ආරම්භ කරපු ගමන තමයි අද මේ දක්වා ඇවිත් තියෙන්නේ.
“මම වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරනකොට අපට නවතම ආහාර සංකල්පයක් ඉදිරිපත් කරන්න ඕනෑ. ඉතිං මම දූරියන් ගැන තමයි පරීක්ෂණ කළේ. මුලින්ම මම හදන්න ගියේ මිල්ක් පවුඩර් එකක්. ඒ වෙනකොටත් වෙළෙඳපොළේ එම නිෂ්පාදන තිබුණ නිසා මම දූරියන් ඇටවල තියෙන ගම් එකෙන් ජෑම් එකක් හැදුවා. එතනදි අපේ සීනියර් අයිය කෙනෙක් කිව්වා දූරියන් කියන්නේ මිල අධික පලතුරක්. ඉතින් ඇටවලින් ප්‍රඩක්ට් එකක් කරන්න ගියොත් වැඩි වියදමක් දරන්න වෙනවා. ඔයා දූරියන් ගෙඩියේ අනිත් දේවල්වලිනුත් නිෂ්පාදන කරන්න බලන්න කියලා. ඊට පස්සේ තමයි සීරෝ වේස්ට් (ක්ෂුද්‍ර අමුද්‍රව්‍ය කළමනාකරණය) කියන කන්සෙප්ට් එකට ඇප්ලයි කරල දූරියන් ගෙඩියෙ හැම දේකින්ම නිෂ්පාදන පෙළක් හැදුවේ.”
හිමාලිගේ හැරවුම් ලක්ෂ්‍යය වන්නේ කොරෝනා සමයයි. අප ‘විස්කම්’ වෙතින් පෙර කියූ ව්‍යවසායකයන් බොහෝ දෙනකු මහා පරිමාණ ව්‍යවසායකයන් බවට පත්ව ඇත්තේ ද මේ කොරෝනා සමයේ නිවෙසේ සිට ආරම්භ කළ කුඩා ව්‍යාපාරවලිනි. දැනට අට දෙනකුගෙන් පමණ කාර්ය මණ්ඩලයක් යටතේ සිදුකරන ව්‍යාපාරයේ ආරම්භය ගැන හිමාලි පවසා සිටියේ මෙසේය.
“කොරෝනා කාලේ අපි ගෙවල්වලටම හිර වෙනවා. ඒ කාලේ තමයි මට හිතෙන්නේ දූරියන් ගැන කරපු පරීක්ෂණවලින් ඉගෙනගත් දේවල් උපයෝගි කරගෙන මොනව හරි දෙයක් කරන්න ඕනෑ කියලා. අපි ගෙදර පොඩියට දූරියන් නිෂ්පාදන හදලා ෆේස්බුක් එකේ එහෙම දැම්මා. ඒවට අපි නොහිතුව විදිහේ ඉල්ලුමක් ලැබෙන්න ගත්තා. ඒ වගේම අපේ අක්කා නුවර ඉස්පිරිතාලේ වැඩ කළේ. අක්කගෙ මාර්ගයෙන් මට හොස්පිට්ල් එකෙත් දූරියන් නිෂ්පාදනවලට ඉල්ලුම වැඩි වුණා. ඔහොම ටික ටික අපි නිෂ්පාදන වැඩි කරගෙන යද්දි බැංකුවකින් ඇවිත් අපට ලෝන් එකක් දෙනවා. ඒ ලෝන් එකෙන් අපි මයිලපිටියෙ පොඩි තැනක මේ ප්‍රඩක්ට් එක හදන්න ගන්නවා. ගම නිසා කැෆේ එකක් දැම්මට වැඩක් වුණේ නෑ. දවසක් අපට කේ.සී.සී. එකේ ප්‍රදර්ශනයකට අපට ආරාධනාවක් ලැබෙනවා. එතනදි තමයි අපේ දූරියන් නිෂ්පාදන ගොඩක් නුවර වගේම රට පුරා ප්‍රසිද්ධ වෙන්නේ.
පස්සෙ අපි ගුවන්විදුලි වැඩසටහනකට සම්බන්ධ වෙලා එතනදි අපට තවත් බැංකුවකින් ලෝන් එකක් ලැබෙනවා. ඊට පස්සේ අපි නුවරට එන්නේ. ඒ කාලෙ වෙද්දි දූරියන් අයිස්ක්‍රීම් එක හදාගන් අපට මැෂින් තිබ්බෙ නෑ. මම ටෙක්නිකල් කොලේජ් එකට ගිහින් තමයි හදන් එන්නේ. ප්‍රොෆෙසර් ජයන්ත කියල පිටරට හිටපු සර් කෙනෙක් ලංකාවට එද්දි මට අයිස් ක්‍රීම් මැෂින් එකක් ගෙනත් දෙනවා. ඊට අමතරව මං අදටවත් නොදැකපු මිස් කෙනෙක් මට කතා කරලා කාන්තාවක් විදිහට ඔයා කරගෙන යන වැඩේට කියලා එයා ලක්ෂ පහක මුදලක් දෙනවා. ඒ උපකරණත් එක්ක අපේ අයියගෙනුත් ලැබුණු සල්ලිවලින් තමයි මම දැන් මේ කරන දූරියන් කැෆේ එක පටන් ගත්තේ. අපි ළඟදීම දළදා මාළිගාව කිට්ටුව තැනකට ප්‍රඩක්ෂන් එකයි රෙස්ටුරන්ට් එකයි ගෙනියනවා. ඒකට හේතුව දූරියන්වලින් හදන කෑමවලට විදේශිකයන් ගොඩක් කැමතියි. ඒ වගේම අපි කොළඹත් අලුතින් රෙස්ටුරන්ට් එකක් ආරම්භ කරන්න දැන් වැඩකටයුතු කරගෙන යනවා. සීසන් එකට කලින් අපි ඒ රෙස්ටුරන්ට් එකත් පටන් ගන්නවා.”
මෙරට තුළ දූරියන් නිෂ්පාදන පෙළට හොඳ ඉල්ලුමක් පැවතිය ද තවමත් මේවා අපනයනයට ඔවුන්ට අවස්ථාවක් ලැබී තැන. මෙවැනි නිෂ්පාදන අපනයනයට රාජ්‍ය අනුග්‍රහය ද අවශ්‍යව ඇත. තවද මෙවැනි නිෂ්පාදන අපනයනයෙන් අප රටට විශාල විදේශ විනිමයක් උපයාගත හැකිය.
ගයාන් සංජය