චීනයේ අසහාය නායකයා ලෙස සැලකෙන්නේ මාඕ සේතුං ය. චීනය ගෝලීය බල දේශපාලනය තුළ ඉහළට ඔසවා තැබීමට මෙන්ම සමස්ත ලෝකය තුළ චීන සලකුණ වඩා ඉහළින් සටහන් කිරීමට ඔහුගේ ක්‍රියාකාරකම් බෙහෙවින් ඉවහල් විය. මේ නිසාම එදා මෙදා තුර චීනයේ බිහි වූ අසහාය නායකයා ලෙස මාඕ සේතුං බුහුමනට පාත්‍ර වේ.
චීනයේ වර්තමාන ජනාධිපති ෂී ජින් පින් ද ගෝලීය බල දේශපාලනය තුළ චීනයේ සලකුණ වඩාත් ඉහළින් සටහන් කර තැබීමට සමත් වූ අයෙකි.
ඉහත කාරණා දෙක සටහන් කිරීමට සිදු වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන සංචාරය හේතුවෙනි. ඔහු ජනාධිපති ධුරයට පත් වීමෙන් අනතුරුව සිදු කරන දෙවැනි නිල සංචාරය සඳහා තෝරාගෙන ඇත්තේ චීනයයි. මෙය සමාජ දේශපාලනික වශයෙන් අතිශය වැදගත් සිදුවීමකි. කලාපීය දේශපාලනය තුළ ද ගෝලීය දේශපාලනය තුළ ද චීනය යනු මගහැර යා නොහැකි සාධකයකි.
චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය හා දේශපාලනික සබඳතාව බොහෝ දුර ඈතට දිව යයි. පුරාණ චීනය හා ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාව ක්‍රිස්තු වර්ෂ පස්වැනි සියවසේදී චීන දේශ සංචාරක පාහියන් භික්‍ෂුව ලංකාවට වැඩම කිරීම දක්වා ඈතට දිව යන බව පුරාණ පතපොතෙහි සඳහන් වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ චීනය සතු භූමිකාව ආර්ථික වෙළෙඳපොළ තුළ චීන රජය විසින් අත්කරගෙන ඇති පංගුව යනාදිය ශ්‍රී ලංකාවට රටක් ලෙස අතිශය වැදගත් වේ. තාක්ෂණික වෙළෙඳපොළ ජය ගැනීමට චීනය සමත් වී ඇති අතර, එය ගෝලීය බල දේශපාලනය උඩුයටිකුරු කිරීමට ද සමත් වූ කාරණයකි.
චීනය සහ ශ්‍රී ලංකාව අතර ඈත අතීතයේ පටන්ම ඉතා දැඩි වෙළෙඳ, සංස්කෘතික සබඳතා පැවති බව ඓතිහාසික තොරතුරුවලින් හෙළි වේ. එසේම චීනය ලංකාවට සෑම අවස්ථාවකදීම විවිධාකාරයේ උදවු කළ මිතුරු රාජ්‍යයක් ලෙස හඳුනා ගත හැකි ය. නිදහසින් පසු ශ්‍රී ලංකාව සමඟ චීනය සබඳතා ආරම්භ කරන්නේ සභාපති මාඕ සේතුංගේ නායකත්වයෙන් සිදු කළ චීන විප්ලවයෙන් පසු පිහිටුවනු ලැබූ මහජන චීන සමූහාණ්ඩුව පිළිගැනීමට අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් ප්‍රතික්ෂේප කරද්දී ශ්‍රී ලංකාව ප්‍රමුඛ රටවල් දහතුනක් ප්‍රථම වරට එම රට පිළිගැනීමට ඉදිරිපත් වීම හේතුවෙනි.
1952දී අත්සන් කරන ලද චීන රබර් සහල් ගිවිසුම ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදය විසඳීමේ උපාය මාර්ගික සැලැස්මක් විය.
ගෙවුණු කාල සීමාවේදී ද ශ්‍රී ලංකාව තුළ මහා පරිමාණ ව්‍යාපෘති සඳහා මූල්‍ය හා තාක්ෂණික ආයෝජන සිදු කිරීමට චීන රජය ඉදිරිපත්ව තිබිණි. එය දෙරට අතර පවතින අන්‍යෝන්‍ය දේශපාලනික අවබෝධය, මිත්‍රත්වය හා සහයෝගිතාව නිරූපණය කරන ප්‍රබලතම සාධකයකි.
වර්ෂ 1973දී චීන රජය විසින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාව ඉදිකර මෙරටට ප්‍රදානය කිරීම සුවිශේෂ සිද්ධියකි. මීට අමතරව, බලශක්තිය සංවර්ධනය සඳහා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයක් පිහිටුවීම, ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය නවීකරණය, හම්බන්තොට වරාය ඉදිකිරීම, මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදිකිරීම, යුද්ධය අවස්ථාවේදී යුද ආධාර දීම ඇතුළු මහා පරිමාණ ව්‍යාපෘති රැසකට චීනය මූල්‍යමය හා තාක්ෂණික වශයෙන් උපකාර කොට තිබේ.
ශ්‍රී ලාංකේය සංවර්ධන ක්‍රියාවලිය තුළ චීනයේ දායකත්වය යන්න ඉතා දීර්ඝ මාතෘකාවක් වන අතර, එකී සංවර්ධන ලැයිස්තුව ද ඊට වඩා දීර්ඝ එකක් වනු ඇත.
ශ්‍රී ලාංකේය ආර්ථික ආයෝජන සහ සංස්කෘතික සබඳතා වර්ධනයට ද අධ්‍යාපනික සෞඛ්‍ය ක්ෂේත්‍රවල සංවර්ධනයට ද චීනය නිරන්තරව ආධාර දෙන බව මීට පෙර ප්‍රකාශ කොට තිබිණි.
කෙසේ වෙතත් චීන ආධාර මත ක්‍රියාත්මක වූ මහා පරිමාණ ව්‍යාපෘති මෙරට සංවර්ධනයේ අපේක්ෂිත දිශාවන් කරා ගමන් කළේ ද යන්න ගැටලුවකි.
වරෙක චීන රජයේ බලධාරීන් ප්‍රකාශ කොට තිබුණේ එවකට සිටි දේශපාලන නායකයන්ගේ වුවමනා පරිදි මෙරට ඇතැම් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කළ බවයි.
කෙසේ වුවත් ශ්‍රී ලාංකේය සංවර්ධනය දෙස චීනය අලුත් ඇසකින්, නව මානයකින් බලන බව හඳුනා ගත හැකි ය. ශ්‍රී ලංකාවේ පාලන බලය හොබවන ජාතික ජන බලවේග රජය සහ වර්තමාන ජනාධිපතිවරයා පිළිබඳ සුබවාදී ආකල්පයක් චීනය සතුව ඇති බව හඳුනා ගත හැකි ය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන සංචාරය දෙරට අතර සමාජ, සංස්කෘතික සබඳතා වර්ධනයට හේතු වන්නක් බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Guo jiakin මහතා පසුගියදා ප්‍රකාශ කොට තිබිණි. මේ සංචාරයේදී චීන රජයේ බලධාරීන් මුණගැසී ඒ සබඳතා තවදුරටත් වර්ධනය කර ගනු ඇති බවට ඔහු බලාපොරොත්තු පළ කොට තිබිණි.
1957 වසරේදී දෙරට අතර ඇතිකර ගත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා වඩාත් නව මානයකින් යුතුව තහවුරු කර ගැනීම මේ සංචාරයේදී සිදු වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු පළ කරති.
චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින සාම්ප්‍රදායික දේශපාලනික මිතුදම, අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කරමින් වඩාත් ඉහළ ගුණාත්මකභාවයකින් යුතුව ‘එක් තීරයක් – එක් මාවතක්’ වැඩපිළිවෙළ සංවර්ධනය කිරීමට සහ ඉදිරියට ගෙන යෑමට අඩිතාලම සකස් වනු ඇතැයි දෙරටේම කැමැත්ත වෙයි.
නව රජයේ දේශපාලන දැක්ම සහ වැඩපිළිවෙළ චීන රජයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නව දැක්මකින් යුතු අනාගත ශ්‍රී ලංකාවක් ගොඩනඟා ගැනීමේ ක්‍රියාවලිය තුළ චීන රජයේ දායකත්වය වඩා විශ්වසනීයව හා සුපැහැදිලිව සටහන් කර ගැනීමට මේ සංචාරය ඉවහල් වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. දෙරට අතර මෙතෙක් කලක් පැවති සාම්ප්‍රදායික මිත්‍රත්වය සහිත උපාය මාර්ගික සහයෝගිතා හවුල්කාරි සබඳතාව ඔස්සේ දෙරටටම වඩාත් ඵලදායක දේශපාලනික සබඳතාවක් ගොඩනැඟෙනු ඇතැයි යනු අපගේ අපේක්ෂාවයි.
ජනතාවගේ අවශ්‍යතා සහ අපේක්ෂා මත පදනම් වූ ක්ලීන් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට ජනාධිපතිවරයාගේ චීන සංචාරය ඉවහල් වනු ඇති බවට බලාපොරොත්තු පළ කරමු.