Home » සෞඛ්‍ය අමාත්‍යංශයේ මහල් 16කින් යුත් නව කාර්යාල සංකීර්ණ ගැන ඇමතිගෙන් උපදෙස්

සෞඛ්‍ය අමාත්‍යංශයේ මහල් 16කින් යුත් නව කාර්යාල සංකීර්ණ ගැන ඇමතිගෙන් උපදෙස්

by chanaka
January 13, 2025 12:16 pm 0 comment

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ඉදිරි වසර දෙක තුළ අවසන් කරන ලෙසත්, මහල් 07 ක වැඩ මෙම වසර තුළ අවසන් කරන ලෙසත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදෙනු ලැබුවේ කොළඹ‍ කාසල්වීදිය කාන්තා රෝහලට යාබදව ඉදිකෙරෙන මහල් 16 කින් යුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතුවල වත්මන් තත්ත්වය පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරු ව පැවැති සාකච්ඡාවක දී ය.

2016 වසරේ දී වැඩ ආරම්භ කරන ලද මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ නතරව පැවැති අතර, රජයේ අරමුදල් යොදවා නැවත ඉදිකිරීම් කටයුතු මේ වනවිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පසුගිය දා ගොඩනැගිල්ලේ ඉදිකිරීම් පරිශ්‍රය වෙත ගොස් ඉදිකිරීම් කටයුතුවලට අදාළ වත්මන් තත්ත්වයන් පිළිබඳව සොයා බැලීමට කටයුතු කළ අතර, එහි දී ඉදිකිරීම් කටයුතුවලට අදාළ කොන්ත්‍රාත් ආයතන වන මධ්‍යම ඉංජිනේරු සේවා (පුද්ගලික) සමාගමේ සහ මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ නිලධාරීන් සමග ඉදිරි කටයුතු පිළිබඳව ඉතා දීර්ඝ සාකච්ඡාවක් ද පවත්වන ලදි.

දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොටසක් පෞද්ගලික ගොඩනැගිල්ලක කුලී ගෙවමින් පවත්වාගෙන යනු ලබන අතර, එම බදු කාලය දීර්ඝ‌ නොකර හැකිතාක් ඉක්මණින් එම කාර්යාල මෙම නව ගොඩනැගිල්ලට රැගෙන ඒමට අදාළ මූලික සැලසුම් සකස් කරන ලෙස ද මෙහි දී අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදෙන ලදි.

එමෙන් ම මෙම සම්පූර්ණ ගොඩනැගිල්ල වසර දෙකකට අඩු කාලයක් තුළ ඉදිකර අවසන් කිරීමට සැලසුම් සකස් කරන ලෙසත් මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයට (CECB) අමාත්‍යවරයා මෙහි දී උපදෙස් ලබාදෙනු ලැබීය.

මෙහි දී මධ්‍යම ඉංජිනේරු කාර්යයන් පිළිබඳ කාර්යාංශය සඳහන් කරන ලද්දේ සේවා සහ පහසුකම් ලබා ගත යුතු අනෙකුත් ආයතන සමග කටයුතු කර මෙම ගොඩනැගිල්ල ප්‍රමුඛතම කාර්යක් ලෙස සලකා ඉදිකිරීම් කඩිනමින් නිම කිරීමට අදාළ කටයුතු සිදු කරනු ලබන බවයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැපයීම්) දිනිප්‍රිය හේරත් යන මහත්වරුන් ඇතුළු මධ්‍යම ඉංජිනේරු සේවා (පුද්ගලික) සමාගමේ නිලධාරීන් සහ මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ නිලධාරීන් ද එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT