Home » පර්යේෂණ මට්ටමේ බහාලුම් රඳවා ගැනීමට බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ අක්කර පහක භූමියක්

පර්යේෂණ මට්ටමේ බහාලුම් රඳවා ගැනීමට බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ අක්කර පහක භූමියක්

by yasara
January 12, 2025 7:27 pm 0 comment

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකා රේගුව  සහ වරාය ආශ්‍රිත සේවා සපයන සංගම් අතර ජනාධිපති කාර්යාලයේ අද (12) පැවැති සාකච්ඡාවේදී  මෙම එකඟතාවයට පැමිණ ඇත.

ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය ඉදිරි දින හතර තුළ අවසන් කිරීමට  අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ශ්‍රී ලංකා රේගුව ඇතුළු රාජ්‍ය අංශයේ පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කළ ජනාධිපතිවරයා  වරාය ආශ්‍රිත සේවා සපයන සංගම්වල ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා කළේය.

මෙහිදී වරාය ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන  වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක  කිරීම අවශ්‍ය වන නමුත් මෙම අවස්ථාවේදී පවතින තත්ත්වය නිරාකරණය සඳහා සියලු දෙනා එක්ව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන ලදී.

ජනාධිපති උපදෙස් පරිදි මෙම අවස්ථාවේදී උද්ගතව ඇති තත්ත්වය සමනය කිරීමට රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙක අතරම එකඟතාවයන් ඇති කර ගන්නා ලදී.

ආනයනික බහාලුම් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කරමින් පවතින තත්ත්වය නිරාකරණය සඳහා ශ්‍රී ලංකා  රේගු නිලධාරීන්  සතියේ දින හතම පැය විසිහතරම රාජකාරි කිරීමට එකඟතාවය පල කරන ලදී.

පර්යේෂණ මට්ටමේ තිබෙන බහාලුම් රඳවා ගැනීම සඳහා කඩිනම් පියවරක් ලෙස UCT (Unity container Terminal) හි ඉඩකඩ වෙන් කිරීමට අමාත්‍යාංශ තීරණය කර ඇත. ඒ අනුව බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ තිබෙන අක්කර පහක භූමි ප්‍රමාණය   භාවිතා කිරීමට මෙහිදී තීරණය කරන ලදී. ඉන් අක්කර දෙකක ප්‍රමාණයක්  ජනවාරි 31 වන දා වන විට නිදහස් කර ගැනීමටත් ඉතිරි භූමි ප්‍රමාණය පෙබරවාරි 28 වනදා වන විට  ලබා දීමටත් තීරණය විය.

හිතා මතා බහාලුම් ප්‍රවාහනය ප්‍රමාද කරන බහාලුම් රථ වරාය පර්යන්තයේ නැවත්වීම මෙම තද බදය උග්‍ර වීමට හේතුවක් ලෙස හඳුනා ගැනීම නිසා මෙම බහාලුම් රථ  නවතා තැබීම සඳහා පෑලියගොඩ ප්‍රදේශයෙන් ඉඩමක් ලබාදීමට රජය පාර්ශ්වයෙන් එකඟ විය.

ආනයනික බහාලුම් නිෂ්කාශනයේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ , ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ හා  ශාක නිරෝධායන අංශයේ සිදුවන ප්‍රමාදයන් පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් විය. එහිදී මෙම ආයතන සතුව සේවක හිඟයක් ඇති බව සාකච්ඡාවට බඳුන් වූ අතර එම පුරප්පාඩු පිරවීමටත් අදාල නිලධාරීන්ගේ සුබසාධන දීමනා වැඩිකිරීමටත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේය.

 

 

 

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT