Thursday, April 24, 2025
Home » ෆිෆා ලෝක පාපන්දු පාලනය කළත් අයිසීසීයට ලෝක ක්‍රිකට් බලයක් නෑ

ෆිෆා ලෝක පාපන්දු පාලනය කළත් අයිසීසීයට ලෝක ක්‍රිකට් බලයක් නෑ

ලෝක කුසලානය දිනූ ක්ලයිව් ලොයිඩ් කියයි

by mahesh
January 10, 2025 1:00 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

ලෝක පාපන්දු සම්මේලනය වන ෆිෆා ඔවුන්ට අයත් ක්‍රීඩාව මනා ලෙස පාලනය කළද, අන්තර්ජාතික ක්‍රිකට් සමුළුවට ලෝක ක්‍රිකට් සම්බන්ධයෙන් පාලනයක් නැතැයි 1979දී පෘඩන්ෂල් ලෝක කුසලානය දිනූ බටහිර ඉන්දීය කොදෙව් නායක ක්ලයිව් ලොයිඩ් සඳහන් කර සිටී. “ෆිෆාවල බොහෝ වැරදි තිබියදීත් අවම වශයෙන් පාපන්දු ක්‍රියාත්මක කරනවා. ෆිෆා අයිසීසීයත් ක්‍රිකට් පවත්වාගෙන යා යුතුයි” ක්ලයිව් ලොයිඩ් පැවසීය.

ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව 2027 සිට ස්තර දෙකකට බෙදීමට අවශ්‍ය බව පවසා ඉදිරියේදී ඒ පිළිබඳව අයිසීසීය සමඟ සාකච්ඡා කිරීමේ සූදානමින් පසුවේ. ඔවුන්ගේ මේ ඉල්ලීම් ඉටු වුවහොත්, ශ්‍රේණිගත කිරීම්වල පළමු කණ්ඩායම් 7 පළමු පෙළට හා ඉතිරි කණ්ඩායම් 5 දෙවන පෙළට ඇතුළත් වේ.

“මේ තාප්ප තුන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව තට්ටු දෙකකින් ක්‍රියාත්මක කිරීම පිටුපස ඇති ප්‍රධාන හේතුව අයිසීසීයේ දුර්වලතාවයයි. ටෙස්ට් ක්‍රීඩා කරන සුළු කණ්ඩායම් ඉක්මනින් අතුරුදන් වෙනවා. පළමු පෙළ රටවල් අනෙක් කණ්ඩායම් 5 සමඟ සෙල්ලම් කරන්නේ නම්, ඔවුන්ට හොඳ මුදලකට රූපවාහිනී අයිතිය විකිණීමට හැකියි. මෙමඟින් ඔවුන්ගේ ක්‍රීඩකයන්ට ටිකක් හොඳින් මුදල් ගෙවීමට අවස්ථාවක් ලැබෙනවා. මුළු ක්‍රිකට් ලෝකයේම යහපත අවශ්‍ය නම්, ඒ රටවල් තුනම ඒ මාර්ගයේ ගමන් කළ යුතුයි” ක්ලයිව් ලොයිඩ් පැවසීය.

එංගලන්තය, ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අයිසීසීයට වඩා උඩින් සිට ක්‍රිකට් පාලනය කරන බවට ක්ලයිව් ලොයිඩ් චෝදනා කරද්දී හිටපු වේග පන්දු යවන ක්‍රීඩක මයිකල් හෝල්ඩිං පවසන්නේ එම රටවල් තුන එකිනෙකාගේ රටවල තරග සංවිධාන කරද්දී බොහෝ මුදල් උපයන බැවින් අධිකාරී බලයක් ගොඩනඟා ඇති බවයි.

“ක්‍රිකට් කණ්ඩායමක් රටකට යන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඒ පිළිබඳ තීරණය කළ යුතුයි. නමුත් අයිසීසීය එය ඉටු කිරීමට නොහැකිව දුර්වල තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඔවුන් ටිකක් දැඩි විය යුතුයි. කාලසටහන් සකස් කළ ආකාරයටම සියලු දෙනාට එක හා සමාන සැලකීමක් ඕනෑ” යනුවෙන් හෝල්ඩිං පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT