Home » ශ්‍රී ලංකා-බංග්ලාදේශ යොවුන් කාන්තා සටන සමයි

ශ්‍රී ලංකා-බංග්ලාදේශ යොවුන් කාන්තා සටන සමයි

by mahesh
January 10, 2025 1:00 am 0 comment

නිරෝෂාන් ප්‍රියංකර

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශය අතර පැවති අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය ලකුණු 21කින් ජය ගැනීමට බංග්ලාදේශය සමත් විය.

මේ සමඟ තරග 4කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-2ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමා විය.

ඊයේ බීආර්සී පිටියේ පැවති සිව්වැනි තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ ලකුණු 126ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 105ක් පමණි.

හිරුනි හංසිකා පන්දු 29කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟ වේගවත් ලකුණු 44ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට උත්සාහ කළ ද එය අසාර්ථක විය. ඇය 9 වැනි කඩුල්ලට පිටියට පිවිසි චමෝදි ප්‍රබෝධා (3) සමඟ එක්ව වේගවත් ලකුණු 31ක සබඳතාවක් ගොඩනැඟුවද ජයග්‍රහණය කරා යෑමට නොහැකි වූවාය. ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 2 ලකුණු 2ක් තුළ බිඳ වැටී තිබියදී පිටියට පිවිසි නායිකා මනුදි නානායක්කාර ලකුණු 25ක් ඉනිමට එක් කළ අතර, ආරම්භක පිතිකාරිනි දැහැමි සෙනෙත්මා (12) සමඟ ලකුණු 31ක් එක් කළාය. පන්දු යැවීමේදී ජන්නතුල් මාඕවා කඩුලු 3ක් දවා ගත්තාය.

ජන්නතුල් මාඕවා ලකුණු 24ක් රැස් කරමින් බංග්ලදේශ ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ අතර, අෆියා අෂිමා ලකුණු 21ක් සහ මොසම්මත් ඊවා ලකුණු 20ක් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී රශ්මිකා සෙව්වන්දි කඩුලු 3ක් සහ චමෝදි ප්‍රබෝධා කඩුලු 2ක් දවා ගත්හ.

බංග්ලාදේශ 19න් පහළ කාන්තා පිල – 126 (ඕවර 19.5) ජන්නතුල් මාඕවා 24, අෆියා අෂිමා 21, මොසම්මත් ඊවා 20 (රශ්මිකා සෙව්වන්දි 28/3, චමෝදි ප්‍රබෝධා 18/2)

ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා පිල – 105/8 (ඕවර 20) හිරුනි හංසිකා 44, මනුදි නානායක්කාර 25, දැහැමි සෙනෙත්මා 12 (ජන්නතුල් මාඕවා 23/3)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT