හාලිඇළ, ගලඋඩ, වාසනාගම ගම්මානයට ඊයේ (9) අලුයම කඩා වැදුණු වන අලි දෙදෙනකු නිවෙසකට පහරදී නිවෙස කඩා බිඳ දමා වගාවන් රැසක් ද විනාශ කර දමා ගොස් ඇතැයි ගලඋඩ පොලීසිය පවසයි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ හාලිඇළ දුම්රිය ස්ථානයේ පොලිස් නිලධාරියකු ලෙස සේවය කරන ගලඋඩ, වාසනාගම ප්‍රදේශයේ පදිංචි කේ.පී.ඒ. නිහාල් විමලසුරේන්ද්‍ර මහතාගේ නිවෙස මෙසේ වන අලි පහරදී කඩා බිද අලාභ හානි කර තැඹිලි ගස්, කෙසෙල් වගාවන් ද පාගා කඩා විනාශ කර දමා තිබේ.
වන අලි මෙසේ නිවෙසට පහරදෙන අවස්ථාවේ නිහාල් මහතා සිය පවුලේ උදවිය සමඟ බදුල්ල දුම්රිය නිල නිවෙසේ සිටි හෙයින් මින් ඔවුන්ගේ ජීවිතවලට කිසිදු අනතුරක් සිදු නොවූ බව නිහාල් විමලසුරේන්ද්‍ර මහතා පැවසීය.
රන්දෙණිගල, රන්ටැඹේ වනරක්ෂිතයේ සිට ආහාර සොයා ගලඋඩ, වාසනාගම ගම්මානයට කඩා වැදී ඇති මෙම වන අලි දෙදෙනා ඊයේ (9) අලුයම වනතෙක් ගම්මානයේ සැරිසරමින් සිටියදී කන්දකැටිය, බත්මැඩිල්ල වනජීවී කාර්යාලයේ නිලධාරීහු උදෑසන පැමිණ අලි වෙඩි දමා වන අලි දෙදෙනා යළි රන්දෙණිගල රන්ටැබේ වන රක්ෂිතයට පලවා හරිනු ලැබූහ.
වන අලි පහරදීමෙන් නිවෙසේ වහලය, බිත්ති හා ටයිල් අතුරා ඇති පොළොව කඩා දමා අලාභහානි කර ඇත. කෙසේවෙතත් නිහාල් විමලසුරේන්ද්‍ර මහතා පැවසුවේ රන්දෙණිගල, රන්ටැඹේ වන රක්ෂිතයේ සිට රාත්‍රියේ පැමිණ ඇති මෙම වන අලි මෙසේ ගම්වැදීම නිසා ප්‍රදේශයේ ජනතාවගේ ජීවිතවලට දැඩි අනතුරුදායක තත්ත්වයක් උදා වී ඇති බවත්ය.