ලුණු කිලෝ 3000ක් සමඟ සැකකරුවෝ 2ක් කොටු
රොටුඹ දෙන්කන්දලිය ප්‍රදේශයේ නිවෙසක කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය කල් ඉකුත් වූ ලුණු කුඩු පැකැට් රැගෙන විත් එම ඇසුරුම් ඉවත් කර ඒවායේ තිබූ ලුණු වෙනත් ඇසුරුම්වලට මාරුකර නැවත විකිණීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයන් දෙදෙනකු සමඟ විකිණීමට සූදානම් කර තිබූ ලුණු කිලෝ 3156ක් රොටුඹ පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් එක්ව කළ වැටලීමකදී සොයාගෙන ඇත.
රොටුඹ පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර තිබූ අතර පොලිස් නිලධාරීන්, කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.එම්. භවන්ත මහතාට දැනුම්දීමෙන් අනතුරුව පෙරේදා (08) වැටලීම සිදු කර තිබිණි. කල් ඉකුත්ව ඇති කිලෝ 01යි ග්‍රෑම් 400ක් අඩංගු ලුණු කුඩු පැකට් ගලවා එම පැකැට්වල ඇති ලුණු කුඩු පෝර උරවලට දමා නැවත විකුණා ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවට පොලීසිය පවසයි. වැටලීම සිදු කරන අවස්ථාවේදීත් කල් ඉකුත්ව ඇති ලුණු කුඩු අඩංගු පැකැට් කුඩා පෝර උරවලට පුරවමින් සිටි බවට වැටලීමට එක්වූ නිලධාරීන් පැවැසීය. පසුගිය කොවිඩ් 19 පැවැති කාලයේ විකිණීම සඳහා පුත්තලම ප්‍රදේශයෙන් රැගෙන ආ බවටත් විකුණා ගැනීමට නොහැකි වූ බැවින් පොල් ගස්වලට දැමීම සඳහා අවශ්‍ය අයට අලෙවි කරන බවට සැකකරුවන් පැවසූ බවට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැවැසීය.
ලුණු පුත්තලමෙන් රැගෙන ආ බවට සැකකරුවන් පැවසුවත් පැකැට්වල සඳහන්ව ඇත්තේ නුගේගොඩ ලිපිනයක් බවට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් වැඩදුරටත් පැවැසීය. සිද්ධිය සම්බන්ධයෙන් නිවෙසේ හිමිකරු සහ ලුණු කුඩු විකිණීම සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් රොටුඹ, දෙන්කන්දලිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ ලුණු තොගය මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැවසීය. රොටුඹ මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.එම්. බවන්ත මහතා සමඟ උප පොලිස් පරීක්ෂක එස්.පී.කේ.කේ. වීරසිංහ, සැරයන් සුනිල් (55862), සැරයන් පුෂ්පකුමාර (1924), සැරයන් වනිගසේකර (59757), සැරයන් නිශාන්ත (68290), සැරයන් රෝහණ (35633) යන නිලධාරින් එක්ව වැටලීම සිදු කර තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලැබීය.