– වෛද්‍යවරු – කාර්ය මණ්ඩලයත් හිඟයි
– බලධාරින්ට කොතෙක් දැන්නුවත් පලක් නෑ
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දුෂ්කරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති එකම මූලික රෝහල ලෙස සැලකෙන වැලිකන්ද මූලික රෝහලට ප්‍රමාණවත් පරිදි පහසුකම් සහ අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, කාර්යමණ්ඩලයක්, නොමැතිවීම හේතුවෙන් ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 29ක පවුල් 13,633ක පමණ වෙසෙන පුද්ගලයෝ 46,025ක් දැඩි අසීරුතාවට පත්ව සිටිති.
පොලොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද නගරයේ පිහිටා තිබෙන වැලිකන්ද රෝහල 2012 වර්ෂයේදී මූලික රෝහලක් බවට පත්වුවද ඊට රැගෙන එන රෝගීන්ට ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීමෙන් ඇතැම් අවස්ථාවලදී එම රෝගීන් විශාල මුදලක්, සහ කාලයක් වැය කරමින් මඩකලපුව මූලික රෝහලට හෝ පොලොන්නරුව මහ රෝහලට රැගෙන යෑමට සිදුව තිබෙන බවද ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙති. කිසිදු විශේෂඥ වෛද්‍යවරයකු නොමැති වැලිකන්ද මූලික රෝහලට වෛද්‍යවරුන් විසිදෙදෙනකු අවශ්‍ය වුවද මේ වන විට සේවය කරනු ලබන්නේ වෛද්‍යවරුන් හත්දෙනකු පමණි. මීට අමතරව හෙද නිලධාරින් තිස්පහක් අවශ්‍ය වුවද සේවය කරන්නේ හෙද නිලධාරින් දහයකින් යුතු කණ්ඩායමකි. වැලිකන්ද මූලික රෝහල සඳහා කනිෂ්ඨ කාර්ය සේවකයන් හතළිස් තුනක් අවශ්‍ය වුවද මේ වන විට එහි රාජකාරි කටයුතු කරන්නේ විසිහයක් පමණක් බවද රෝහල් ආරංචි මාර්ග පවසයි. දෛනිකව බාහිර ප්‍රතිකාර අංශයෙන් තුන්සිය පනහක් පමණ ප්‍රතිකාර ලබන වැලිකන්ද මූලික රෝහලේ දැනට සේවය කරන වෛද්‍යවරුන්ට සහ රෝහල් කාර්ය මණ්ඩලයට ප්‍රමාණවත් පරිදි නිල නිවාස සහ අනෙකුත් පහසුකම් නොමැතිවීමද ප්‍රධාන ගැටලුවකි.
වර්ෂා කාලවලදී රෝහලේ මෙන්ම නිල නිවාසවල වැසිකිළි පද්ධතිය උතුරා ගලන අතර, ඒ හේතුවෙන් කාර්ය මණ්ඩලයත්, රෝගීනුත් දැඩි දුෂ්කරතාවට පත්වෙති. විශේෂඥ වෛද්‍යවරුන්ටත්, වෛද්‍යවරුන්ට මෙන්ම කාර්ය මණ්ඩලයටත් ප්‍රමාණවත් නිල නිවාස නොමැති අතර, තිබෙන නිල නිවාස ද ගරා වැටී තිබීමත්, ගැටලුවක් වන අතර, වැහි කාලවලට මෙම රෝහල මඩ වගුරක් බවට පත්වන අවස්ථා ද බොහෝය. ළමා, පිරිමි, කාන්තා වාට්ටු, මෙන්ම ගැබිනි වාට්ටු ද නොමැති වැලිකන්ද මූලික රෝහල සඳහා විශේෂඥ වෛද්‍යවරුන් නොමැති නිසාම මේ සඳහා පැමිණෙන විවිධ රෝගීන් පොලොන්නරුව සහ මඩකලපු රෝහල්වලට රැගෙන යෑමට සිදුවීමෙන් තමන්ට කාලය, ශ්‍රමය, ධනය විශාල වශයෙන් වැයවන බව ද ප්‍රදේශයේ රෝගී ජනතාව පෙන්වා දෙති. වසර තිහකට අධික කාලයක් යුද්ධයෙන් පීඩාවිඳි වැලිකන්ද ජනතාවට සාමය උදාවීමෙන් අනතුරුව ඔවුන්ට සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් පරිදි වැලිකන්ද මූලික රෝහලෙන් නොලැබීම කනගාටුදායක කරුණකි.
රෝහලේ අත්‍යවශ්‍යතා ලබාදෙන ලෙසට බලධාරින්ගෙන් ලිඛිතව ඉල්ලීම් කළද ඊට කිසිදු විසඳුමක්, පිළිතුරක් නොමැති කළ ප්‍රදේශයේ සම්පත්දායකයන් සහ පරිත්‍යාගශීලින් සම්බන්ධ කර ගනිමින් වත්මන් වෛද්‍යවරුන් මෙන්ම කාර්ය මණ්ඩලය ළමා වාට්ටුවේ අඩුපාඩුකම් සපුරාගෙන දැනට සිටින කාර්ය මණ්ඩලයෙන් පැමිණෙන රෝගී ජනතාවට උපරිම කාර්යභාරයක් ඉටුකර දීම පැසසිය යුතු කරුණකි. රෝහලේ පවතින අඩුපාඩුකම් පිළිබඳව අප එම රෝහලෙන් දුරකතනයෙන් කළ විමසීමකදී එහි වෛද්‍යවරයකු සඳහන් කළේ, වැලිකන්ද මූලික රෝහල, මූලික රෝහලක් බවට පත්කළ දා සිට මේ දක්වාම රෝහලට අවශ්‍ය අඩුපාඩුකම්, පළාත් සෞඛ්‍ය සේවා අමාත්‍යාංශයට මෙන්ම රජයේ සෞඛ්‍ය බලධාරින්ට ලිඛිතව හා වාචිකව දන්වා ඉල්ලීම් කළද ඊට මෙතෙක් කිසිදු විසඳුමක් නොලැබුණ බවයි. අනතුරුව අප මෙම රෝහලට පවතින අඩුපාඩුකම් සහ අවශ්‍ය යටිතල පහසුකම් ලබා නොදීම පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතාගෙන් දුරකතනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ, වත්මන් රජය යටතේ වැලිකන්ද රෝහලට අවශ්‍ය සියලු පහසුකම් සහ අවශ්‍ය කාර්ය මණ්ඩලය ලබා දීම සාකච්ඡා මට්ටමේ පවතින බවත්, රෝහලේ අඩුපාඩුකම් ලබා දීමට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන බවයි.