Home » නීති විරෝධී දුම්වැටි තොගයක් කටුනායකදී මාට්ටු

නීති විරෝධී දුම්වැටි තොගයක් කටුනායකදී මාට්ටු

by mahesh
January 10, 2025 1:00 am 0 comment

කටුනායක - ටී.කේ.ජී.කපිල

රුපියල් විසි නව ලක්ෂ හැත්තෑ දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යමින් සිටි ගුවන් මගියකු පෙරේදා (08) රාත්‍රී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනුලැබීය.

මොහු පුත්තලම, වෙප්පමඩු ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි, ඩුබායිහි වසර දෙකක සේවා කාලයක් සපුරා, මෙරටට එමින් සිටි පුද්ගලයෙකි.

ඔහු පෙරේදා (08) රාත්‍රී 07.30ට පමණ ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ E.K. – 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත “ප්ලැටිනම්” වර්ගයේ දුම්වැටි 19,800ක් අඩංගු දුම්වැටි කාටූන් 99ක් සඟවා ගෙන සිටිය දී, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මේ වනවිට මෙම ගුවන් මගියා පොලිස් ඇප මත මුදා හැර තිබේ. ඔහු විසින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් තිබූ දුම්වැටි තොගය, එළඹෙන 15 වැනිදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT