Monday, April 21, 2025
Home » ඉන්දියානුවාගේ ගමන් මල්ල බදුලු දුම්රියේදි නැතිවෙලා පැය කිහිපයකදී සොයා ගනී

ඉන්දියානුවාගේ ගමන් මල්ල බදුලු දුම්රියේදි නැතිවෙලා පැය කිහිපයකදී සොයා ගනී

by mahesh
January 10, 2025 1:00 am 0 comment

හැටන් - රංජිත් රාජපක්ෂ

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා පෙරේදා (08) ධාවනය කළ 1007 මගී ප්‍රවාහන දුම්රියේ ගමන් කළ ඉන්දියානු ජාතිකයාගේ අස්ථානගත වූ ගමන් බෑගය පැය කිහිපයක් තුළ සොයා ගැනීමට හැටන් දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති ජානක ප්‍රනාන්දු මහතා සහ වටවල පොලීසියේ නිලධාරින් සමත්වී ඇත.

ඉන්දියාවේ මුම්බායි ප්‍රාන්තයේ පදිංචි 39 හැවිරිදි සංචාරකයා එම දුම්රියෙන් ඇල්ල දක්වා දෙවන පන්තියේ මැදිරියේ ගමන් කරමින් සිටියදී වටවල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතරදි තම ගමන් බෑගය අස්ථානගත වී ඇති බවට හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයාට පැමිණිලි කර සංචාරකයා එම දුම්රියෙන්ම ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කර ඇත.

වහාම ක්‍රියාත්මක වූ හැටන් දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා වටවල දුම්රිය ස්ථානයෙන් ඒ සම්බන්ධයෙන් කරුණු විමසා සිටියදී අස්ථානගත වූ ගමන් බෑගයට සමාන බෑගයක් රැගෙන දුම්රියෙන් පැමිණි පුද්ගලයෙකු වටවල ප්‍රදේශයට ත්‍රිරෝද රථයකින් ගමන් කළ බවට පැවසීමත් සමඟ හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් ඒ සම්බන්ධයෙන් වටවල පොලීසිය දැනුම්වත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ වටවල පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති උ.පො.ප. – ආර්.එම්.එස්. ජයරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරින් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල රොසැල්ල ප්‍රදේශයට ගොස් එම මාර්ගයේ කුලී ත්‍රිරෝද රථ රියැදුරන්ගෙන් කරුණු විමසීමේදී එවැනි බෑගයක් සහිත පුද්ගලයෙකු ගිනිගත්හේන සිට හැටන් දක්වා ධාවනය වූ ලංගම බස් රථයක නැඟ ගමන් කළ බවට දැනුම් දීමත් සමඟ පොලිස් නිලධාරින් එම බස් රථය සොයාගෙන ගොස් ඇත.

හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපතිවරයා හැටන් ලංගම ඩිපෝවේ උසස් නිලධාරින් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර සොයා බැලීමකදී අදාළ ලංගම බස් රථය ඩිපෝව තුළ නතර කර ඇති බවත්, එම බස් රථය පරීක්ෂා කිරීමේදී ඉන්දියානු ජාතික සංචාරකයාට අයත් ගමන් බෑගය බස් රථයේ ගමන් මලු රඳවනය තුළ ඇති බවට ඩිපෝවේ නිලධාරින් දැනුම් දීමෙන් පසු දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් ඒ සම්බන්ධයෙන් වටවල පොලිස් ස්ථානයේ නිලධාරින් දැනුම්වත් කර ඇත.

වටවල පොලීසියේ නිලධාරින් හැටන් ලංගම ඩිපෝව වෙත ගොස් එම ගමන් බෑගය රැගෙන හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයා වෙත භාර දී භාරගත් බවට අත්සන් ලබාගෙන ඇත.

හැටන් දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති ජානක ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධයෙන් පවසා සිටියේ ඉන්දියානු ජාතික සංචාරකයාව දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගනිමින් ඔහුගේ අස්ථානගත වූ ගමන් බෑගය සොයාගත් බවත්, ගමන් බෑගය රාත්‍රි තැපැල් දුම්රියෙන් ඇල්ල දුම්රිය ස්ථානය වෙත එවීමට කටයුතු කරන බවත්, ඇල්ල දුම්රිය ස්ථානයෙන් එම ගමන් බෑගය ලබාගන්නා ලෙසට පැවසූ බවයි.

එහිදී ඉන්දියානු සංචාරකයා තම ගමන් බෑගය සොයා ගැනීමට කටයුතු කළ දුම්රිය ස්ථානාධිපතිවරයාට සහ අදාළ පොලිස් නිලධාරින්ට ස්තුතිය පුද කළ බව දුම්රිය ස්ථානාධිපතිවරයා පැවසීය.

ගමන් බෑගය සොයාගත් වටවල පොලීසියේ නිලධාරින් පවසා සිටියේ එම දුම්රියෙන් පැමිණි පුද්ගලයෙකු වැරදීමකින් සංචාරකයාගේ ගමන් බෑගය රැගෙන ගොස් පසුව එය තමන්ගේ නොවන බවට තහවුරු වීමෙන් පසු බස් රථයේම දමා ගොස් ඇති බවට සැක කරන බවයි.

එම බෑගය රැගෙන ගිය පුද්ගලයා හඳුනා ගැනීම සඳහා සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ විමර්ශනයක් සිදු කරන බවද වටවල පොලීසියේ නිලධාරින් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT