Home » බෙම්මුල්ලේ මහා පරිමාණ කසිප්පු ස්කාගාරයක් වටලයි

බෙම්මුල්ලේ මහා පරිමාණ කසිප්පු ස්කාගාරයක් වටලයි

කෝටි දෙකහමාරක ගොඩා අත්අඩංගුවට

by mahesh
January 10, 2025 1:00 am 0 comment

මිනුවන්ගොඩ සමූහ ටෙඩී කිර්ති ගම්පහ අධිකරණ උපාලි රණවීර කොටදෙණියාව සමූහ එම්. පුෂ්පකුමාර

මිනුවන්ගොඩ පොලිස් බලප්‍රදේශයේ ජා ඇළ පොලිස් වසමට යාබදව කොටුගොඩ දඬුගංඔය ආශ්‍රිතව පවත්වාගෙන ගොස් තිබූ ගම්පහ ඉතිහාසයේ විශාලතම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය බෙම්මුල්ල පොලීසිය මඟින් පෙරේදා (08) අලුයම වැටලීමක් සිදුකර සැකකරුවන් දෙදෙනෙකු සමඟ මත්පැන් පෙරීමට සූදානම් කර තිබූ ගෝඩා බැරල් 200ක් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමකින් යුත් ගෝඩා මිලිලීටර් තුන්කෝටි එකොළොස් ලක්ෂ හතළිස්දහසක ප්‍රමාණයක්, විශාල ප්‍රමාණයේ බැරල් 200ක් තුළ දමා ගඟේ ගිල්වා තිබියදී පොලීසිය භාරයට ගෙන ඇත.

මෙසේ ගඟේ ගිල්වා තිබූ ගෝඩා බැරල් තොගය ගොඩ ගැනීම සඳහා පොලිස් නාවික කොට්ඨාසයට අයත් බෝට්ටුවක් සමඟ එම නිලධාරීන්ගේ ද සහයෝගය පොලීසිය ලබාගෙන ඇත.

මෙම වැටලීමේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සීදුව සහ ඒකල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 45 සහ 55 වියේ පසුවන්නන් බව පොලීසිය පවසයි.

සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ පොලිස් බලප්‍රදේශයේ කොටුගොඩ දඬුගංඔය ආශ්‍රිතව ඉතා දීර්ඝ කාලයක පටන් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගොස් ඇති මෙම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය තුළ නිපදවන මත්පැන් කොළඹ ප්‍රදේශයේ මෙන්ම මුහුදුබඩ ප්‍රදේශවලත් කඩුවෙල, පානදුර සහ ගම්පහ දිස්ත්‍රික්ක තුළත් ඉතා සංවිධානාත්මකව බෙදාහැර ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ මෙම ගෝඩා සහිත බැරල් දඬුගංඔයේ ගිල්වා සඟවා තබා එම ස්ථානවලදීම මත්පැන් පෙරීම මෙම සැකකරුවන් විසින් සිදු කරගෙන ගොස් ඇති බවයි.

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාට ලද තොරතුරකට අනුව ඒ මහතාගේ උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගම්පහ (1) නාලක සේනානායක මහතාගේ අධීක්ෂණය යටතේ බෙම්මුල්ල පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් තාරක මහතාගේ මෙහෙයවීම යටතේ සිදුකර තිබූ මෙම වැටලීම සඳහා උප පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.පී. රණවීර, පොලිස් සැරයන්වරුන් වන (55451) සම්පත්, (60572) ගයාන්, (60900) දේවසිංහ, (60804) බංඩාර (5449) ධම්මික, පොලිස් කොස්තාපල්වරුන් වන (82559) කුමාර, (99931) විකුම්, (37654) පානබොක්ක, (102892) ජයරත්න, (102893) පැහැසර, (103421) මිහිරන්ග, (106059) මදුෂන්ක, පොලිස් රියැදුරු (1668) ලක්මාල් යන නිලධාරීන් මෙම වැටලීම සඳහා එක්වී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT