Home » ව්‍යාජ කාසි තොගයක් ලක්ෂ 15කට විකුණන්න හැදූ අයෙක් රිමාන්ඩ්
රන් ආලේප කළ

ව්‍යාජ කාසි තොගයක් ලක්ෂ 15කට විකුණන්න හැදූ අයෙක් රිමාන්ඩ්

by mahesh
January 10, 2025 1:00 am 0 comment

මාරවිල සමූහ - මිහිර විජේසේකර

නිධානයකින් ලබාගත් බව පවසා ව්‍යාජ රන් කාසි තොගයක් රුපියල් ලක්ෂ 15කට අලෙවි කිරීමට සූදානම් වන අවස්ථාවේ හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනුලැබූ සැකකරුවකු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 21 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පෙරේරා මහතාට ලද තොරතුරක් මත සැකකරු හා ව්‍යාජ රන් කාසි තොගය අත්අඩංගුවට ගැනුණේ උපාය දූතයකු යොදවා නාත්තන්ඩිය, තුම්මෝදර දුම්රිය ස්ථානයේදීය.

අත්අඩංගුවට පත් සැකකරු කම්මල, වයික්කාල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

මෙහිදී ව්‍යාජ ලෙස සකස් කරන ලද රන් පැහැගැන්වූ කාසි 160ක් අත්අඩංගුවට ගෙන තිබේ. රන් පැහැ නොගැන්වූ තවත් කාසිවලට සමාන රන් ආලේපිත කැබලි 231 තොගයක් ද සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගැනීමට කටයුතු කෙරිණි. කෘෂි ක්ෂේත්‍රයේ නියැළෙන, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට මෙම ව්‍යාජ රන් කාසි තොගය විකිණීමට කටයුතු කර ඇත්තේ කපුවකු මෙන් පෙනී සිටින පුද්ගලයෙකි. ඔහු ද ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ගැනුම්කරු, ඔහු දන්නා හඳුනන නිසා දුරකතනය ඔස්සේ සම්බන්ධ වී ඔහු මුලාකොට ඒවා මිලදී ගැනීමට කැමැත්ත පළ කිරීමෙන් පසු තමාගේ පුතා අත එවන බව පවසා වෙනත් අයෙක් මාර්ගයෙන් මෙම ව්‍යාජ රන් කාසි තොගය යවා තිබේ. පසුව ගැනුම්කරුට මෙම ගනුදෙනුව සම්බන්ධව සැක සිතී හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට දැන්වීමෙන් පසු හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසු ව්‍යාජ ලෙස සකස් කළ රන්කාසි තොගය හා සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

මෙම ජාවාරමේ කපුවා මෙන් පෙනී සිටි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස්‌ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT