Home » බිත්තර සහ කුකුළු මස් මිල ඉහළ යෑම වළක්වන්න රජය වහා මැදිහත් විය යුතුයි

බිත්තර සහ කුකුළු මස් මිල ඉහළ යෑම වළක්වන්න රජය වහා මැදිහත් විය යුතුයි

සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති

by mahesh
January 10, 2025 1:00 am 0 comment

ජයසිරි මුණසිංහ

එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමය වන විට බිත්තර සහ කුකුළු මස් මිල දැඩි ලෙස ඉහළ යා හැකි බැවින් එය වැළැක්වීම සඳහා කෙටිකාලීන විසඳුම් සෙවීමට රජය වහාම මැදිහත් විය යුතු යැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

ඉදිරි අවශ්‍යතාවන්ද සලකා බලා කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදනය දේශීය වශයෙන් වැඩි කිරීමට ප්‍රධාන වශයෙන් බලපාන කුකුළු කෑම සහ ඒ සඳහා යොදා ගන්නා බඩඉරිඟු පිටරටින් ගෙන්වීමටත් ඒවා සඳහා අය කරන බදු ප්‍රමාණය යම් ප්‍රමාණයකින් අඩු කර ගැනීමට රජය මැදිහත් විය යුතු බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කලක් කෘෂිකර්ම සහ වාරිමාර්ග ඇමැතිවරයා ලෙස කටයුතු කොට මේ ක්ෂේත්‍රය පිළිබඳව පුළුල් දැනුමක් ඇත්තෙක් බව පැහැදිලි කළ සභාපතිවරයා ඒ නිසාම මේ ගැටලුව විසඳා ගැනීමට ජනාධිපතිවරයා මැදිහත් වනු ඇතැයි සංගමයක් ලෙස බලාපොරොත්තු වන බවද සඳහන් කළේය. දැනට වසරකට අවශ්‍ය බඩඉරිඟු මෙට්‍රික්ටොන් ලක්ෂ 5ක ප්‍රමාණයෙන් මෙට්‍රික්ටොන් ලක්ෂ එකහමාරක් මෙරටට ගෙනැවිත් තිබේ. ඉතිරි ප්‍රමාණය තවමත් ගෙන්වා නැත. මෙම නිසා ඉදිරියේ කර්මාන්තයේ ඇති වන අවශ්‍යතා සපුරාලීමට ඒවා පිටරටින් ගෙන්වීමට වහාම මැදිහත් වන ලෙසද සභාපතිවරයා රජයට යෝජනා කළේය.

සහල්වලින් නිපදවෙන අතිරික්ත නිපැයුමක් වන හුන්සහල්ද මේ වන විට වෙළෙඳපොළේ හිඟයක් පවතී. මේ නිසා කුකුළු කෑමවල සැපයුමේ ඇති වී තිබෙන දුර්වලතා නිසා ඒවායෙහි මිල වැඩි වී ඇත. මේ නිසා දේශීය වශයෙන් කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයන් බොහෝදෙනකුගේ කටයුතු නවතා දමා තිබේ. එබැවින් නැවත එවැනි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බලගැන්වීමට රජය කටයුතු කරන්නේ නම් අනිවාර්යයෙන්ම බඩඉරිඟු පිටරටින් ගෙන්වීමට අවසර ලබා දිය යුතුම වේ. එහිදී කිලෝවක් සඳහා අය කරන රුපියල් 25ක බද්ද රුපියල් 15 දක්වා හෝ අඩුකර දෙන ලෙස තමා සංගමයක් ලෙස රජයෙන් ඉල්ලා සිටින බව මාතලී ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉහළ පිරිවැයක් දරා දේශීය වශයෙන් බිත්තර හා කුකුළු මස් නිෂ්පාදනය කොට අඩු මිල ගණන් යටතේ පාරිභෝගික ජනතාවට ඒවා ලබා දීමට කිසිවකුටත් අවකාශයක් නැත. ඉදිරි උත්සව සමයේ ඇති විය හැකි කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ යෑමේ ප්‍රශ්නය විසඳීමට අද සිටම රජය කටයුතු කළ යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT