මධ්‍යම රජයේ සහ මධ්‍යම පළාත් සභාවේ රුපියල් කෝටි ගණනක මුදල් යොදවා බඹරැල්ල ප්‍රදේශයේ ඉදිකර තිබෙන නකල්ස් රක්ෂිතය නැරඹීමට පැමිණෙන සංචාරකයන් සඳහා පහසුකම් සැපයීම වෙනුවෙන් ඉදිකළ මධ්‍යස්ථානය මේ වනවිට වල්බිහිවී විනාශ වෙමින් තිබේ. මධ්‍යම පළාත් වෙළෙඳ, වාණිජ හා සංචාරක අමාත්‍යාංශයේ සහ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ අරමුදල් යොදවා ඉදි කරන ලද මේ මධ්‍යස්ථානය කාර්යාලයක්, විවේකාගාරයක්, වැසිකිළි පද්ධතියක් ඇතුළු පහසුකම් රැසකින් සමන්විත සැලසුමකට අනුව ඉදිකර ඇත. පන්විල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ඉදිකර තිබෙන මේ පහසුකම් මධ්‍යස්ථානයේ කාර්යාලය 2017 අප්‍රේල් මස 07 වැනි දින එවකට මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති ධුරය දැරූ සරත් ඒකනායක මහතා විසින් විවෘත කර ඇත්තේ රුපියල් ලක්ෂ ගණනක මහජන මුදල් වැය කර උත්සවයක් පවත්වමිනි.
කාර්යාලයීය ගොඩනැඟිල්ලේ වැඩ අවසන් කර ඇතත් වසර ගණනාවක් පුරා එය ඉබි යතුරු දමා වසා තිබෙන බවත්, අඩක් වැඩ නිම කර තිබෙන ප්‍රධාන ගොඩනැගිල්ල මේ වන විට විනාශ මුඛයට ගමන් ගනිමින් තිබෙන බවත් ප්‍රදේශවාසීහු පවසති.
ඡායාරූප- රුවන් මීගම්මන