Monday, April 21, 2025
Home » වාහන අනතුරු වැඩිවීමට අනවශ්‍ය සැරසිලි හේතුවක්

වාහන අනතුරු වැඩිවීමට අනවශ්‍ය සැරසිලි හේතුවක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් පී. රුවන්පුර

by mahesh
January 10, 2025 1:00 am 0 comment

දකුණු පළාත් සංචාරක එස්. දීයගහගේ

මගී ප්‍රවාහන බස් අනතුරු මෙන්ම වෙනත් වාහන අනතුරු බහුලවීමට ඒවායේ ඇති අනවශ්‍ය සැරසිලි හේතුවක් වන බව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් පී.රුවන්පුර මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ රිය අනතුරකදී වාහනවල සවි කර ඇති අමතර කොටස් එහි ගමන් ගන්නා ජනතාවට තුවාල සිදුවීමට බලපාන ආකාරය සහ මරණ සිදුවීමට බලපාන ආකාරය පිළිබඳව දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවකදීය.

ගාලු දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි කොට්ඨාස රථ වාහන අංශයෙන් සංවිධාන කරන ලද මේ මාධ්‍ය හමුව කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

“බොහෝ අනතුරුවලට හේතුව මහාමාර්ගයේ වාහන වැඩිවීම නොවෙයි. පාරේ යන ජනතාවට හිරිහැරයක් වන අන්දමට අමතර කොටස් සවි කරගෙන බස් ලස්සන කළාට වැඩක් නෑ. එහෙම කරන්න රියැදුරාට අයිතියකුත් නෑ. ඒ වගේම නිර්ණායකවලට පිටින් අමතර කොටස් සවි කිරීමට හැකියාවක් නෑ. රිය අනතුරක් වුණාම සමහර අවස්ථාවල රියැදුරු වෙනුවට වෙනත් පුද්ගලයෙක් ඉදිරිපත් වෙනවා. නමුත් තුවාල සිදු වී ඇති ආකාරය අනුව අපට තීරණය කිරීමට පුළුවන් සැබෑ රියැදුරු කවුද කියලා. පැයට කිලෝමීටර් සීයක වේගයෙන් ගිහින් එක්වරම බිංදුවට ආවොත් ඒ කියන්නේ තාප්පයක වගේ හැප්පුණොත් ඒ පුද්ගලයා මියයනවා. වාහනය අනතුරකට ලක්වී පෙරළුණු විට එහි සිටි අයගේ තුවාල පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක දත්ත වාහනය නිෂ්පාදන සමාගම විසින් ගෙන අධ්‍යයනය කරනවා. ඒ අනුව තමයි ඊළඟ වාහන කාණ්ඩය නිෂ්පාදනය කරන්නෙ.”

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරි සුමිත් අඹේපිටිය මහතා

“මීට වසර කිහිපයකට පෙර හම්බන්තොට සහකාර පොලිස් අධිකාරිවරයා උදේ පාරේ යනකොට ලොරියක පැති කණ්ණාඩියේ වැදී මියගියා. ත්‍රිරෝද රථවල එක එක උපකරණ සවි කර යකඩ බාර් ගහලා පැති කණ්ණාඩි එළියට සවි කර ඉදිරිපස බාර් සවි කරලා පාරේ යන මගියාගේ ඇඟේ පළමුව වදින්නේ එම කොටස් තමයි. මේවා මගීන්ට විශාල අනතුරක්.

බස් රථවල රියැදුරුට බාධා වන ලෙස අමතර කොටස් සවි කරලා. රියැදුරුට දර්ශන පථය අඩුයි. එනිසා ඇත්ත වශයෙන්ම මේ අමතර කොටස් ඉවත් කිරීම අත්‍යවශ්‍යයි. ඉස්සර වාහනවල දොරේ හැඬලය පවා එළියේ සවි කර තිබුණත් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අනුව එම පිටත කොටස් ඉවත් කළා.”

නියෝජ්‍ය පොලිස්පති ජගත් සේරම් මහතා ද මෙහිදී අදහස් දැක්වීය.

කොට්ඨාස රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.එච්.එස්. සුජීව මහතා ඇතුළු රථවාහන කොට්ඨාසයේ නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT