Home » කථානායක-ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්

කථානායක-ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්

by mahesh
January 10, 2025 1:00 am 0 comment

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු විය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා කථානායක වෛද්‍ය වික්‍රමරත්න මහතාට නව වසර සඳහා සුබපැතුම් එක් කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සම්බන්ධතා නැවතත් තහවුරු කළේය. එසේම දෙරටේ අන්තර් පාර්ලිමේන්තු සහයෝගීතාව වර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා කථානායකවරයාට ආරාධනයක් ද කළේය.

පළමුවරට පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා පුහුණු සහ ධාරිතා වර්ධන වැඩසටහන් හරහා පාර්ලිමේන්තුවට සහාය දැක්වීමේ ඉන්දියාවේ සූදානම පිළිබඳව ද මහකොමසාරිස්වරයා සඳහන් කළේය. දහවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපිත කිරීම සඳහා කථානායකතුමාගේ මඟපෙන්වීම අපේක්ෂා කරන බවද ඔහු පැවසීය. තවද ප්‍රතිපත්ති සම්පාදනයේදී කාන්තාවන්ගේ භූමිකාව ඉහළ නැංවීම මෙන්ම අන්තර් සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා දෙරටේ පාර්ලිමේන්තුවල කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කණ්ඩායම් අතර සමීප සබඳතා වර්ධනය කිරීමේ වැදගත්කම මහකොමසාරිස්වරයා අවධාරණය කළේය.

කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා, දෙරට අතර ඓතිහාසික සබඳතා සහ සංස්කෘතික බැඳීම් පිළිබිඹු කරමින්, විවිධ අංශ ඔස්සේ ඉන්දියාව ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබාදෙන සහයෝගයට සිය කෘතඥතාව පළ කළේය.

ආර්ථික සංවර්ධනය, ඩිජිටල්කරණය සහ කලාපීය සහයෝගීතාව ඇතුළු බොහෝ කරුණු කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූවාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT