Home » ලෝක වෙළෙඳපොළේ අපට හිමි තැන ගන්න නවෝත්පාදන අවශ්‍යයි

ලෝක වෙළෙඳපොළේ අපට හිමි තැන ගන්න නවෝත්පාදන අවශ්‍යයි

ජනපති අනුර කුමාර දිසානායක

by mahesh
January 10, 2025 1:00 am 0 comment

උපාලි කරුණාරත්න

ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ පංගුව අත්පත් කරගැනීම නවෝත්පාදන වැඩපිළිවෙළ හරහා සිදු කළ හැකි බවත්, නව මාදිලිවලින් නව වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේදී පෙරේදා (08) පැවති උත්සවයට සහභාගි වෙමිනි.

පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීමට nirdc.gov.lk නව වෙබ් අඩවිය ආරම්භ කිරීම ද මෙහිදී සිදු විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙලෙස ද කීවේය.

“අපේ රට තාක්ෂණ විෂය නොසලකා තිබුණා. ලෝකයේ දියුණු රටවල් තාක්ෂණ විෂයට මුල් තැනක් දී සංවර්ධනය කරා ගොස් තිබෙනවා. තාක්ෂණය සහ නවෝත්පාදනය සම්බන්ධයෙන් අපේ රටේ පැවති ප්‍රතිපත්තිය නිසා ලෝක වෙළෙඳපොළේ අපට හිමි තැන අත්පත් කරගැනීමට අසමත් වුණා. ලෝකය තාක්ෂණයත් සමඟ වෙළෙඳපොළ මාදිලියේ නව පෙරළියක් ඇති වුණත් අපේ රට තේ, පොල්, රබර් වැනි පැරණි සංකල්පයක හිරවී තිබෙනවා.

විද්‍යාව හා තාක්ෂණය සමඟ එකට බැඳුණු පර්යේෂණ හා සංවර්ධන (Research and Development) ක්‍රියාදාමය, අගය එකතු කළ (value added) භාණ්ඩ හා සේවා නිෂ්පාදනය රටේ ආර්ථිකය නඟාසිටුවනවා. සමස්ත මානව හා සාමාජයීය ප්‍රවර්ධනයට ද උර දෙනවා. රට තුළ නවෝත්පාදකයන් ගම් මට්ටමින් බිහි වුවත් ඔවුන්ගේ අදහස් සහ නිපැයුම් නිසි ලෙස උකහාගැනීමේ යන්ත්‍රණයක් හෝ ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමක් සිදු වූයේ අවම මට්ටමකින්. මේ මානව සම්පතට නිවහල් ලෙස සිතන්තට අවශ්‍ය පරිසරය සාදා දීම, ඔවුන්ගේ නව අදහස් පර්යේෂණ හා ගවේෂණ තුළ කාර්යක්ෂම ලෙස සැකසූ යන්ත්‍රණයක් තුළින් ලංකාව නවෝත්පාදන මධ්‍යස්ථානයක් බවට අනාගතයේ පත් කර ගත හැකියි. මෙතෙක් කලක් අපේ රටේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.12%ක් පමණ අඩු ප්‍රතිපාදනයක් පර්යේෂණ හා සංවර්ධන සඳහා වෙන් කර තිබුණා. නමුත් අපේ රට සතුව බොහෝ ස්වභාවික සම්පත් ඇතත් එය නිසි පරිදි කළමනාකරණය සහ මේ වටිනා පර්යේෂණ තවමත් ආර්ථික ප්‍රතිලාභ සඳහා යොදාගෙන නෑ. නව රජයේ පත් වීමත් සමඟ දේශීය සහ ජාත්‍යන්තර ආයෝජකයන් විශාල සංඛ්‍යාවක් මේ මොහොතේ අපේ රටේ ආයෝජනය කිරීමට විශාල උනන්දුවක් දක්වමින් සිටිනවා. ආර්ථිකය නඟාසිටුවීමට මේ සියල්ල ප්‍රමාදයකින් තොරව කළමනාකරණය කර රටේ සංවර්ධනයට භාවිත කළ යුතුයි. මනාව සැලසුම් කරන ලද සහ නිසි ලෙස කළමනාකරණය කරන ලද දිගු කාලීන පර්යේෂණ හා සංවර්ධන යන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම. අලුතින් පිහිටුවන ලද විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය දැනටමත් කටයුතු ආරම්භ කර තිබෙනවා.

වඩාත්ම ඵලදායී උපායමාර්ගය වන්නේ ආර්ථිකය සඳහා ක්ෂණික තල්ලුවක් ගැනීමට දැනටමත් පර්යේෂණ අවසන් කර ඇති හෝ ආසන්න වශයෙන් නිම කර ඇති ව්‍යාපෘති, අගය එකතු කළ අලෙවි කළ හැකි නිෂ්පාදන සහ සේවාවන් බවට කඩිනමින් පරිවර්තනය කිරීමයි. පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිඵල හඳුනා ගැනීම, ඇගයීම, බලාත්මක කිරීම, ක්‍රියාවට නැංවීම සහ ඉක්මනින් වාණිජකරණය කිරීම සඳහා Òපර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශයÓ [National Initiative for R&D Commercialization (NIRDC)] නව ව්‍යාපෘතියක් ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇති කර ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක සහ ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් සහ විද්‍යාත්මක පර්යේෂණ, කර්මාන්ත, ආර්ථිකය, නීතිය, කලාව සහ දේශීය උරුමයන් ආදී ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගෙන් සමන්විත විද්වත් මණ්ඩලයකින් කමිටුවක් පත් කර තිබෙනවා.

මිනිසාගේ අවශ්‍යතා නොවෙනස්ව පවතිනවා. එම අවශ්‍යතා ගන්නා මාදිලිය පමණක් වෙනස් වෙනවා. නවෝත්පාදනයෙන් එම මාදිලිය නිර්මාණය කළ හැකියි. තාක්ෂණය සමඟ එක්ව නවෝත්පාදනය කළ සමාගම් ලෝකය ජයගෙන තිබෙනවා. ලෝකයේ පළමු සමාගම් 10න් 05ක්ම තාක්ෂණය පදනම් කර ගත් සමාගම්.

දුප්පත්භාවය තුරන් කිරීමට අවශ්‍ය වන්නේ සමාජ ඛේදවාචකය නැති කිරීම පමණක් නොව එම ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට නවෝත්පාදනය හරහා ප්‍රවේශ වීමේ අයිතිය දීමටයි.”

ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා

“මෙතෙක් ලංකාවේ පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිඵල ආර්ථිකයට එකතු වුණේ නෑ. මේ වැඩසටහන යටතේ පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණය කිරීම සිදු කරනවා. එමඟින් ආර්ථිකය සහ සමාජයීය සංවර්ධනයක් ඇති කර තිරසර ආර්ථිකයක් ගොඩනැඟීමට හැකියාව තිබෙනවා.”

ඇමැතිවරුන් වන සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ, මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, නියෝජ්‍ය ඇමැතිවරුන් වන චතුරංග අබේසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපෝන්සු, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ නියෝජිතයන්, රාජ්‍ය සහ පෞද්ගලික අංශ පර්යේෂණ ආයතන ප්‍රධානීන්, ආයෝජකයන්, ව්‍යවසායකයන්, කර්මාන්තකරුවන් ඇතුළු බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT