‘සුදු ආච්චි’ට 97යි ‘නාමලී’ට 90යි
මෙවර 51 වැනි රාජ්‍ය නාට්‍ය සම්මාන උලෙළේදී ශ්‍රී ලාංකේය නාට්‍ය කලාව සුපෝෂණය කිරීම උදෙසා අග්‍රගණ්‍ය මෙහෙවරක් ඉටු කළ අයිරාංගනී සේරසිංහ මහත්මිය ජීවිතයේ එක්වරක් පමණක් පිරිනැමෙන ‘නාට්‍ය කීර්ති’ සම්මානයෙන් පිදුම් ලැබීය. ඇය ජීවිතයේ 97වැනි විය පසුගියදා සැපිරීය. එසේම ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියක් වන නෙතලි නානායක්කාරගේ 90 වැනි ජන්ම දිනය පසුගිය 26දාට යෙදී තිබිණි. ඇය ප්‍රසිද්ධ වූයේ මුවන්පැලැස්සේ ‘නාමලී’ චරිතයෙනි. මේ ලිපි පළ වෙන්නේ ඒ නිමිත්තෙනි.
ශ්‍රී ලාංකේය කලා අඹරේ තම ගමන් පෙත තුළ රංගන දිවියේ අර්ධ ශතකය ගෙවා දැමූ ශිල්පියකු හෝ ශිල්පිනියක සොයා ගැනීම සරල කාරණාවක් නොවේ. එහෙත් අර්ධ ශතකයද ගෙවා දමා තවත් වසර 20කට වඩා වැඩි කාලයක් රංගවේදය වෙනුවෙන් තම හැකියාවන් ගෙන හැර පෑ අයෙක් වේ නම් ඒ අන් කවරකුවත් නොව, ඇය අයිරාංගනී රොක්සානා මීදෙණියයි. එසේත් නැත්නම් ඔබ කවුරුත් හඳුනන අයිරාංගනී සේරසිංහයි. තවත් ලෙසකින් කිවහොත් කාටත් දයාබර වූ ‘දූ දරුවෝහි’ සුදු ආච්චිය. වර්තමානය වන විට බොහෝදෙනා රංගන ශිල්පිනියක ලෙස ඇය ලඝු කරනු ලැබුවද ඇය කලක් මාධ්‍යවේදිනියක ලෙසද තම හැකියාවන් එළිදැක්වීමට කටයුතු කළාය. ඒ ටයිම්ස් සඟරාවේ කාන්තා පිටුවේ කර්තෘවරිය ලෙසිනි.
ඇය උපන්නේ 1927 ජූනි 09 දා, මුදුගමුවේ මීදෙණිය වලව්වේ මීදෙණිය රටේ මහත්තයාගේ දියණියක ලෙසිනි. අයිරාංගනී රොක්සානා මීදෙණිය ලෙසින් උප්පත්තිය ලැබූ ඇයට සහෝදරයකුගේ සහ සහෝදරියන් දෙදෙනකුගෙන් යුතු පවුලේ මද්දුමිය වූවාය. ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය කුඩා අයිරාංගනීගේ පළමු පාසල විය. ඉන් වසරක පමණ අධ්‍යාපන කාලයකින් අනතුරුව ඇයගේ දෙවන විදුපියස වූයේ බිෂොප් විද්‍යාලයයි. ඉන් අනතුරුව විශ්වවිද්‍යාල ප්‍රවේශය වෙනුවෙන් ඇයට අධ්‍යාපනය ලබන්නට සිදුවූයේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙනි. විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලැබුවද ඇය ලැබූ එකම නුසුදුසුකම වූයේ තම පියාගේ බලවත් අකමැත්තයි. එහෙත් ඇයගේ ගෝරනාඩුව වී තිබුණේ කෙලෙස හෝ තමා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබිය යුතුය යන්නයි. තම සටන වෙනුවෙන් මීදෙණිය රටේ මහත්තයාගේ කන්දීමක් නොවුවද ඇයගේ බලාපොරොත්තුව වෙනුවෙන් කන්දෙන්නෙක්ද සිටියේය. ඒ අන් කවරකුවත් නොව පවුලේ හිතවතකු වූ ඩී. එස්. සේනානායක අගමැතිතුමායි. ඇයට විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට පවුලේ අවසරය ලැබුණේ ඉන් අනතුරුවය.
1947 දී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඇය එහිදී කලා උපාධිය හදාරන්නට සමත් විය. මෙම අවධියේදී ඉංග්‍රීසි නාට්‍ය සංගමයෙන් බොහෝ නාට්‍ය නිර්මාණ එළිදැක්වෙමින් පැවතිණි. පාසල් සමයේ සිට ඉංග්‍රීසි වේදිකා නාට්‍ය රඟපෑමේ සමත්කම් දැක්වූ ඇය විශ්වවිද්‍යාලයේදී ද ඉංග්‍රීසි වේදිකා නාට්‍ය හා රංගනයෙන් සම්බන්ධ විය. මීට කලකට පෙර සරසවිය පුවත්පත සමඟ පැවති සාකච්ඡාවකදී ඇය තමා රඟපෑ පළමු ඉංග්‍රීසි නාට්‍යය පිළිබඳවද මතක් කර සිටියාය. ඇය පවසා සිටියේ ‘ද සෙකන්ඩ් මයිස් ටැන්කරේ’ නාට්‍යයේ මිසිස් ටැන්කරේ ලෙසින් තම මුල්ම රංගනය ඉදිරිපත් කළ බවයි. ඉන්පසුව දිගින් දිගටම රංගනය හා සම්බන්ධ වෙමින් ඇන්ටිගනී, බ්ලැක් චිෆන්, ද ගවර්මන්ට් ඉන්ස්පෙක්ටර්, ද හවුස් ඔෆ් බර්නාඩා ඇල්බා, මැක්බ(ර්)ත්, ඔතෙලෝ වගේ ඉංග්‍රීසි නාට්‍යය රාශියක ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් එක්විය. මේ සමයේදී මහාචාර්ය ඊ. එෆ්. සී. ලියුඩොක්ගෙන් රංගනය පිළිබඳව ඇයට උපදෙස් ලැබුණු අතර ඔහුගේ මඟ පෙන්වීම මත අයිරාංගනී මහත්මියට එංගලන්තයට ගොස් වැඩිදුරටත් රංගනය ඉගෙනුමට අවස්ථාව හිමිවිය. තවද ඔහුගේ මඟ පෙන්වීම යටතේ නර්තනය හදාරන්නට යොමුවූයේ චිත්‍රසේනයන්ගෙනි. තම කලා උපාධිය ලබා ගැනීමෙන් පසු ලන්ඩන් බලා ගොස් වසර 3ක් එහි රංග කලාව හදාරා ඇය නැවත ලංකාවට පැමිණෙන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් ලෙසින් තම හැකියාවන් මනා ලෙස ඔපමට්ටම් කරගැනීමෙන් අනතුරුවය. ඇය ලංකාවට පැමිණීමෙන් පසු සිදුවූ විශේෂිතම සිදුවීම වූයේ 1953 දෙසැම්බර් මස 12 වැනි දින ලයනල් වෙන්ඩ්ට් කලාගාරය ආරම්භ කිරීමෙන් පසු මැක්සිම් ගෝර්කිගේ “The Lower Depths” සඳහා රංගනයෙන් එක්වීමයි. එංගලන්ත ගමනෙන් පසු ඇය සහභාගී වූ මුල්ම කලා නිර්මාණය වන්නේ එයයි. ඇයට චිත්‍රපට රංගනය සඳහා වරම් ලැබුණේද අපූරු ආකාරයටය. විශ්වවිද්‍යාලයේ වේදිකාගත කළ නාට්‍ය නැරඹීමට පැමිණි ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඔහු විසින් නිරිමාණය කළ පළමු වාර්තා චිත්‍රපටය සඳහා ඇයව තෝරා ගනු ලැබුවේ මෙහිදීය. ඉන් අනතුරුව රිදී තිරයේ රංගනය හා සම්බන්ධ වූයේ ඔහුගේ රේඛාව චිත්‍රපටයෙනි. රේඛාව චිත්‍රපටයෙන් අනතුරුව වින්ස්ටන් සේරසිංහ සමඟ ඇයගේ විවාහය සිදු වූ අතර අයිරාංගනී මීදෙණිය, අයිරාංගනී සේරසිංහ නම භාවිතයට ගනු ලැබුවේ එතැන් පටන්ය.
පනහ දශකයෙන් ආරම්භ වූ තම සිනමා ගමන් මඟ තුළ ඇය චිත්‍රපට බොහෝ ගණනකට සම්බන්ධ විය.
රේඛාව, සංදේශය, දෙලොවක් අතර, රන් සළු, බක්මහ දීගේ, තේ වත්ත, ප්‍රියංගා, ද ගෝඩ් කිං, සාගරයක් මැද, දෙවැනි ගමන, ඉන්දියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් ඔෆ් ඩූම්, දඩයම, අවුරුදු දා, ආදර කතාව, අවරගිර, පොරොන්දුව, ලොකු දුව, ඉක්බාල් (Iqbal), කිණිහිරියා මල්, සක්මන් මළුව, ඉරැස්මා, පවන රළු විය, සුදු කළු සහ අළු, වෝටර්, නිසල ගිර, සමාරා, හාට් එෆ් එම්, රෝස කැලේ, අබිනික්මන, It’s a Matter of Love ඉන් චිත්‍රපට කිහිපයකි. මීට අමතරව ටෙලි නාට්‍ය සඳහාද රංගනයෙන් සම්බන්ධව ඇති ඇය යශෝරාවයේ සුදු හාමිනේ තුළින්ද, දූ දරුවෝහි ඩල්සි ආච්චිගේ චරිතයෙන්ද ජනතාව අතර නොමැකෙන නමක් තබන්නට සමත් විය. මීට අමතරව රුපියල් සත, ගම්පෙරළිය, නෑදෑයෝ, සත් පුරවැසියෝ, අම්මයි තාත්තයි සහ මුතු කිරිල්ලි වැනි ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයකටම ඇය රංගනයෙන් දායක විය.

සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි දෑතින් අයිරාංගනී සේරසිංහ මහත්මියට සම්මානය පිරිනැමූ මොහොත…
දැන් මං රැජනක් වගෙයි ඉන්නේ
– ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී නෙතලි නානායක්කාර
‘මගේ ජීවිතේ හරිම ලස්සන දින කිහිපයක් පහුගිය දවස්වලදීයි යෙදුණේ. ඒ, මගේ 90 වැනි උපන්දිනය ඉකුත් 26දාට යෙදුණු අතරවාරයේදීයි. විදෙස්ගතව සිටින දරුවන් ඇතුළු දූ පුතුන්, මුණුපුරන්, මිණිපිරියන් සියල්ලන්ම එකවර මා සොයා පැමිණීමත් මෙවර මගේ උපන්දිනය දා සුවිශේෂීත්වයක්. අවුරුදු 4කට පසුවයි ඒක එහෙම වුණේ.
ඉතින්, දැන් දරුවන්ගේ දරුවන්ටත් දරුවෝ ඉන්නවා. ඒ අතින් මං හරිම වාසනාවන්තයි. ඉතින්, තිඹිරිගස්යායේ අවන්හලකදී ඔවුන් මා පුදුම කරවමින් උපන්දින සාදයකුත් සූදානම් කර තිබුණා. කලා ලෝකයේ හැමෝටමත් කියන්න ආසාවෙන් හිටියත් එහෙම කරන්න මේ කාලයේ අමාරුයිනේ. ඒත්, මට එයින් කිහිප දෙනකුව එක්කරගන්න පුළුවන් වුණා.
ඉදිරි කාලය ගත වෙන හැටි කියනවා නම් ඉතින්, ලබන 12 වැනිදා මට දෙවෙනි ඉනිම ටෙලියේ ෂූටිං. ඊට පහුවදා 13දා සාරංග මෙන්ඩිස්ගේ අලුත් ෆිල්ම් එකේ ෂූටිංවලට මහනුවර යන්න ඕනෑ. මට අත්තම්මා, අම්මා චරිත තමයි වැඩිපුර ලැබුණේ. දැන් මට 90ක් කියලා මං කිවුවානේ. හැබැයි, ලොකේෂන් එකට ගිහින් පිටපත එක වතාවක් බැලුවාම මට ඒ ඇති. ඒ මගේ පළපුරුද්දෙන් එන දෙයක් වෙන්නැති. කලාව මගේ ජීවිතේ කියලායි මං කියන්නේ.
අනෙක, මගේ මුළු ජීවිතයම කලාව. රංගනය, හඬකැවීම මගේ ජීවිතයත් එක්ක බැඳිලා. ඇත්තෙන්ම, මඟතොටදී ප්‍රේක්ෂකයන්ගෙන් මට ලැබෙන ප්‍රතිචාර මෙතෙකැයි කිවනොහැකියි. සමහරු මට මහපාරේදී දණ ගහලා වැඳලාත් තියෙනවා. ඒ ඔක්කෝම කලාව නිසානේ.
අනෙක, මගේ ස්වාමි පුරුෂයා වොලී නානායක්කාර ගැනත් මට කියන්න ඕනෑ. එයාට ටෙලිනාට්‍යයක්, චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ හීනයක් තිබුණා. ඒ වෙනුවෙන් තිරපිටපත් ලියාගෙන වොලී හොඳ නිෂ්පාදකවරයකු සොයමින් සිටියත් ඔහුට ඒ හීනය හැබෑ කර ගන්න බැරිවුණා. ඒ කොහොම වුණත් එයා එයාගේ ජීවිතේ නිදහසේ ගෙවූ කෙනෙක්.
මගේම ජීවිතය දිහා ආපස්සට හැරී බැලුවාම මට අද හරි සතුටුයි. දැන් මං රැජනක් වගේ ඉන්නේ. මගේ දරුවෝ කවුරුවත් අයාලේ ගියේ නැහැ. ඒත් මගේ දරුවෝ හැමෝම හොඳින් ඉගෙන ගත්තා. අද සමාජයට වැඩදායී විදියට ජීවත් වෙනවා. හැබැයි කුඩා, තරුණ කාලයේ මං හුඟක් වෙහෙස වෙලා තියෙනවා. විනය තදින් තිබිය යුතු, වෙහෙසකර වැඩ, රාජකාරි තිබුණු, කලට වෙලාවට රාජකාරියටම වාර්තා කළ යුතුම වුණු, වගකීම් බහුල සේවා ස්ථානයක මම බොහෝ වැඩකළා. ඒ අතරතුරදීයි ගුවන්විදුලියට ගොඩවැදුණේ. මට වොලී හමුවීමත්, කලාවට යොමු වීමත් එක්කම වුණු දෙයක්.
ඉඳින්, මට මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් දෙයක් කියන්න ඕනි. ඒ, කිසිදාක මං නෑ, බෑ කියලා ආපස්සට ගිහින් නැති බවයි. ඒක කාගේත් ජීවිතයට හරිම වටිනා දෙයක්. මං උත්සාහ කළා, ඒ අනුව ජය ගත්තා. උත්සාහ කළොත් දිනාගන්න බැරි දෙයක් නැහැ. අපි අපේ දරුවන්ටත් ඒක උගන්වන්න ඕනෑ…

වැඩිමහල් මුණුපුරු, මිණිපිරියන් කිහිප දෙනකු සමඟ
මම නෙතලි නානායක්කාර