ඔහු වේදිකාවට අමුත්තකු නොවේ. “විලංගුව, ධර්මිෂ්ඨලා, හිත හොඳ මිනිස්සු, අරුන්දතී මං මනමාලයි” ආදී නාට්‍ය හරහා වේදිකාවෙන් අප හමුවූ ප්‍රවීණ ජනමාධ්‍යවේදියකු ද වන, සුගත් ශාන්ත මොරගහකුඹුර මෙවර ‘අකුරු හකුරු’ ළමා නාට්‍යය සමඟින් අප හමුවෙයි. හෙට (11) සවස 3.30ට සහ 6.30ට කිරිබත්ගොඩ YMBAහිදී රඟදැක්වීමට නියමිතය. ඒ පිළිබඳ අපි දැන් සුගත් සමඟ වැඩිදුරටත් කතා කරමු.
අපි හකුරු අකුරු ළඟින්ම අරඹමුද?
මේ මගේ පළමු ළමා නාට්‍යය. ඇත්තෙන්ම සුරංගනා කතා, ජාතක පොතෙන් එහාට නූතනයේ ළමුන් වැඩි දෙනකුටත් ඒ පිළිබඳ එතරම් අදහසක් නැහැ. තවම අලි බබා සහ හොරු හතළිහ ආදී කතාන්දර තමයි ළමයි නළවන්නත් තවමත් වැඩි දෙනකු කියා දෙන්නේ. ඉතින්, ඒ ගැන මං කෙටි කලක් සොයා බැලුවා. ඇත්තෙන්ම, පෞරුෂ වර්ධනයට ළමුන්ට එහි වැදගත්කම අතිවිශාලයි. ඒත්, විභාගයට, විෂය නිර්දේශයට අදාළ සාහිත්‍ය පොත් විතරක් කියවන්නයි හුඟ දෙනකු පුරුදුව සිටින්නේ. හැබැයි එය ප්‍රමාණවත් නැහැ. කුඩා ළමුන් පමණක් නොව, පාසල්, විශ්වවිද්‍යාල විද්‍යාර්ථින් දක්වාම සාහිත්‍ය පරිශීලනයේ අඩුකම කැපී පෙනෙනවා. කුඩා කාලයේදීම සාහිත්‍යයෙන්, කලාවෙන් ඈත්වීම බරපතළ අඩුවක්. ඒ එය ජීවිත කාලයටම බලපාන නිසයි. සමාජානුයෝජනයේදී තරුණ පරපුරෙන් පවා ඒ පිළිබඳ දක්නට ලැබෙනවා.
අපි දැන් ඔබේ නිර්මාණය ගැන කතා කරමුද?
මේ ගම්බද පරිසරය වටා ගෙතෙන කතාන්දරයක්. හැබැයි, මෙය නගරයටත් අදාළයි. සුන්දර එහෙමත් නැතිනම් හොඳ මාමා කියලායි මෙහිදී අප හමුවන දරුවන් ඔහුව හඳුන්වන්නේ. ගොපල්ලකු වන සුන්දර මාමා හරහා ගැමිකම, සාරධර්ම, ගුණධර්ම විදහා දැක්වීමට මා උත්සාහ දරනවා. ඒ වගේම, ඒ ගමේ ග්‍රාම නිලධාරිවරයාගේ දියණියට මේ ගොපල්ලාගේ ගුරුහරුකම්, මඟපෙන්වීම් ලැබෙනවා. ඒ හරහා ඇය නිවෙසින් ලබනවාට වඩා වැඩි පන්නරයකින් ඉගෙනුමටත් පෙලඹෙනවා. ඒත්, මුලින් ඇයව නිවෙසින්, පාසලෙන්, සමාජයෙන් දඟකාර, ඉගෙනුමට අදක්ෂ දරුවකු විදියටයි හංවඩු ගැසී තිබුණේ. ඒත් ඇය වෙනස් වෙනවා. ඒ වෙනස දකින්න මේ නාට්‍යය නරඹන්න එන්න කියලා ආරාධනා කරනවා. ආදරය, කරුණාව, දයාව වගේම, සංස්කෘතිය දායාද කරදීමේදී වැඩිහිටියන් ඉවසිලිවන්තව, ආදරයෙන්, කරුණාවෙන් දරුවන් පිළිබඳ කටයුතු කළ යුතු බවත් මෙයින් කියාපාන්නට උත්සාහ කළා.
දැනට මේ නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
දර්ශන වාර කිහිපයක් පැවැත්වුණා. හොඳ, යහපත් ප්‍රතිචාර තියෙනවා. පාසල් ළමුන් ආදීන් ඉලක්ක කර ගන්නා නිසා හැකි අවම ගාස්තුවකට නාට්‍ය පෙන්වන්නයි නිෂ්පාදිකා ජීවනී මීගොඩ ඇතුළු අපේ කණ්ඩායම සූදානමින් ඉන්නේ. ඒ හරහා කලෙකින් වේදිකා නාට්‍යයක් නැරඹුවේ නැති තැනැත්තන් පවුල් පිටින් මෙය නැරඹීමට එතැයි අපේක්ෂා කරනවා. අනෙක, ළමා නාට්‍යයක් වුණත් වැඩිහිටි ප්‍රේක්ෂකයන්ටත් මෙය දැනුම, වින්දනය නොඅඩුව සපයනවා. දරුවාගෙන් ළමා කාලය උදුරාගෙන මවුපියන්ගේ හීන හැබෑ කර ගත නොහැකි බව ඒත්තු ගැන්වීමටත් පුරා පැය එකහමාරක කාලයක් රඟ දැක්වෙන මෙයින් අප උත්සාහ දරනවා.
අපි දැන් නාට්‍ය පිරිවර හඳුනා ගනිමු?
චින්තක පතිරණ, නදීකා අලහකෝන්, ජීවනී මීගොඩ, රිතුකි නිම්හාරා, සඳලි වික්‍රමසිංහ, බිනුලි පුන්සිසි, කිසඳු ඩයස් ආදීන් රංගනයෙන් එක්වන මෙහි තිර පිටපත් රචනයෙන් වගේම අධ්‍යක්ෂණයෙන් දායක වන මා සමඟ, වේදිකා පරිපාලනයෙන් ඒ.එච්. සුනිල් ද විදුලි ආලෝකකරණයෙන් ජිනදාස හීන්ගොඩ ද ගී තනු, සංගීත අධ්‍යක්ෂණයෙන් සමීර සුබසිංහ ද ගීත රචනයෙන් සුනිලා විජේසිංහ, ශ්‍රීමා විතානගේ, රිෂ්මිනා සමීන් එකතු වෙනවා.