Home » චේතිය පරපුරේ අපේක්ෂකයෝ

චේතිය පරපුරේ අපේක්ෂකයෝ

by mahesh
January 10, 2025 1:00 am 0 comment

දඹදිව විසූ බව කියන චේතිය රජු බොරු කීමට ප්‍රසිද්ධ චරිතයක් ලෙස ඉතිහාස කතාවල සඳහන් වෙයි. එපමණක් නොව, ඒ නිසා ඔහු අපාගත වූ බව ද ඉතිහාස කතාවල කියවේ. මේ කතා ප්‍රවෘත්තිය ලෝවැඩසඟරා කතුවරයා කවියට නඟා ඇත්තේ මෙලෙස ය.

‘ළැදිව රජෙක් බොරු බස් කී විගසකයා
නැතිව රිද්දි බලයත් ඒ මිනිස්කයා
පොළොව පළා ගෙන ගොස් වැටුණි නරකයා
මෙලොව සතුනි ඉන් බොරු කීම නරකයා’

මෙහි සරල අදහස බොරු කියන පාලකයන් මෙන්ම මිනිසුන් ද පොළොව පළා ගෙන අපාගත වන බවයි.

අපාගත වීමේ කාරණය කෙසේ වෙතත්, බොරු කීම නරක පුරුද්දක් බව මෙහි කියවේ. මේ නිසා වත්මනෙහි බොරු කීමේ නිරතවූවන් හැඳින්වීමට චේතිය පරම්පරාවේ අය යැයි කියනු ලැබේ.

චේතිය පරම්පරාවේ සිද්ධිය යළි සිහිපත් වූයේ පසුගියදා අප පුවත්පත මඟින් වාර්තා කරන ලද ප්‍රවෘත්තියක් හේතුවෙනි. එහි සඳහන් වූයේ ඉකුත් මහමැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 1042කට උසාවියේ නඩු පවරන බවයි. ඊට හේතුව මැතිවරණයට අදාළ වියදම් වාර්තා ඉදිරිපත් නොකිරීමයි. මැතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයන් මෙලෙස රාජ්‍යතන්ත්‍රයට බොරු කරන්නේ ඇයි?

දේශපාලනය හා බොරුව අතර ඇත්තේ ගසට පොත්ත මෙන් සම්බන්ධයකි. මේ නිසා සාම්ප්‍රදායික ප්‍රභූ දේශපාලනයේ නිරත වූ බොහෝ පිරිස් බලය අත් පත් කරගැනීම සඳහාත්, ගත් බලය රැක ගැනීම සඳහාත් විවිධාකාරයේ බොරු පොරොන්දු දුන්හ. ජනතාවට ද එකී බොරු පොරොන්දු කාලයක් ගත වෙද්දී අමතකව ගිය බවක් හැඟෙයි.

මැතිවරණවලට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගේ ප්‍රමුඛතම වගකීම වනුයේ මැතිවරණ නීතිවලට අනුව කටයුතු කිරීමයි. ඒ ඔවුන් මෙරට රාජ්‍ය පාලනය හා ප්‍රතිපත්ති සැකසීම සඳහා බලය ඉල්ලන පිරිසක් බැවිනි. එහිදී ඔවුන් මූලික ක්‍රියාමාර්ග හා රීතීන් කඩා බිඳ දමන්නේ නම්, ඔවුන්ගෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව හෝ සුබවාදි අනාගතයක් පිළිබඳව බලාපොරොත්තු පළ කළ හැකි ද?

පුරවැසියා සහ රාජ්‍යය අතර පවතින සබඳතාව මෙන්ම පුරවැසියන්ගේ සහ රාජ්‍යයේ වගකීම් සහ යුතුකම් පිළිබඳව හරියාකාරව දැන ගැනීම දියුණු ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයකි. ඒ පිළිබඳ අනවබෝධ තත්ත්වයක් මත රටක් ගමන් කරන්නේ ධනාත්මක දිශාවට නොවන බව සඳහන් කළ යුතුය.

නූතන ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යයක අයිතිය පවතින්නේ ජනතාව සතුව බවට පොදු පිළිගැනීමක් පවතී. රාජ්‍යයේ ඉහළම අයිතිය හෙවත් පරම අයිතිය ජනතාව සතුව පවතින්නේය යන අදහසින් ජනතා පරමාධිපත්‍යය යන සංකල්පය බිහිව ඇත. රාජ්‍යයක අයිතිය පවතින්නේ ජනතාවට යැයි සාමාන්‍යයෙන් පැවසුවද සාමාන්‍යයෙන් රාජ්‍යයක අයිතිය පවතින්නේ පුරවැසියන්ටය. එක හා සමාන්තර යෙදුම් දෙකක් වුව ද, මෙහි ඇත්තේ බරපතළ වෙනස් තේරුම් දෙකකි.

එනිසා ජනතාවගෙන් ඡන්දය ඉල්ලූ අපේක්ෂකයන්ගේ වතගොත, වත්කම් වියදම් දැනගැනීම මැතිවරණ නීතියට අනුකූල වන්නා සේම එය පුරවැසි අයිතිවාසිකමක් ද වේ. මැතිවරණ නීතියට අනුකූලව කටයුතු නොකිරීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරන්නට වීම ම කනගාටුවට කාරණයකි.

ශ්‍රී ලාංකේය දේශපාලනය තුළ සිදු වන ප්‍රමුඛතම කාරණයක් වනුයේ මැතිවරණයකින් පසු ඡන්දදායකයා ස්වකීය භූමිකාව අත්හැර දැමීමය. දියුණු ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යයක මැතිවරණයෙන් පසු ඡන්දදායකයාගේ වගකීම හමාර නොවේ. තමා විසින් පත් කරනු ලැබූ නියෝජිතයන් නිශ්චිතව කටයුතු කරන්නේ ද, ඔහු දූෂණ, වංචාවල නිරත වන්නේ ද යන්න පිළිබඳ සොයා බැලීමේ වගකීම ද ඔහුට පැවරේ.

ශ්‍රී ලාංකේය දේශපාලනය තුළ මැතිවරණවලට ඉදිරිපත් වූ අපේක්ෂකයන් මුදල් උපයා ගත් ආකාරය පිළිබඳව ද ගැටලු පවතී. කළු සල්ලි සුදු කිරීමේ ප්‍රමුඛතම ආකාරය ලෙස මැතිවරණවලට ඉදිරිපත් වීම ශ්‍රී ලංකාවේ භාවිත වන බවක් දැකිය හැකිය. ජනාධිපතිවරණයට අපේක්ෂකයන් හැටහුටහමාරක් ඉදිරිපත් වූයේ මෙහි එක් පියවරක් වශයෙනි. තමන්ගේ ලකුණවත් නොදන්නා අපේක්ෂකයන් මැතිවරණවලට ඉදිරිපත් වන්නේ තමන් උපයා ගත් කළු සල්ලි වියදම් කිරීමේ මාර්ගයක් වශයෙනි. මෙකී කළු සල්ලි වර්තමානයේ අපි විවිධ ආයෝජන වශයෙන් ද සමාජගත වන බවක් දක්නට ලැබේ. ඒ කළු සල්ලි මෙරට විදත් හා මුද්‍රිත මාධ්‍ය ආරම්භ කිරීමේ ව්‍යාපෘති දක්වා ද පැතිරී ඇති බව මීට පෙර හෙළිදරව් විය. එහෙත් ඒ පිළිබඳ විධිමත් ක්‍රියාමාර්ග ගැනීමක් සිදු නොවිණි. වර්තමාන ආණ්ඩුවට ඒ පිළිබඳ නිශ්චිත ක්‍රියාමාර්ග ගැනීමට අවකාශ විවරව පවතී.

දැන් ඇත්තේ පශ්චාත් මැතිවරණ සමයයි. මැතිවරණයට උපයා ගත් හා වියදම් කළ ආකාර පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මීට පෙර නොතිබූ කාරණයකි. එනිසා එම නීති පියවර ගැනීම අත්‍යවශ්‍ය වන අතර, ඒ අපේක්ෂකයන් කවුරුන් ද යන්න හෙළිදරව් කිරීම ද අනිවාර්ය කාරණයකි. එපමණක් නොව; ඔවුන්ට නීති මඟින් කටයුතු කිරීමේ අවශ්‍යතාව ද දැඩිව පවතී.

එමෙන් ම මේ ආකාරයට වෘත්තීය තනතුරුවල ගරුත්වය හෑල්ලු වන ආකාරයට දේශපාලන අට්ටාල, කූඩාරම් අටවා ගත් සියලු දේශපාලන ගන්ධබ්බයන්ට මැතිවරණවලට ඉදිරිපත් කිරීමට හැකි වන පරිදි ඇති මැතිවරණ පනත සංශෝධනය විය යුතුය. එය කාලීන අවශ්‍යතාවකි.

එමෙන් ම මුදල් උපයා ගත් ආකාරය සහ වියදම් කළ ආකාරය ප්‍රසිද්ධ කළ යුතුවාක් මෙන් ම; ජයග්‍රාහකයන්ගේ ධුර කාලවලින් පසු වත්කම් පරීක්ෂා කිරීම ද සිදු කළ යුතුය.

ප්‍රභූ දේශපාලනය නිර්ප්‍රභූ දේශපාලනයට මාරු වීම පිළිබඳ සැබෑ සංකල්පීය අදහස නිවැරදිව අවබෝධ කොට ගතහැකි වන්නේ එවිටය. අපි ඒ පිළිබඳ බලාපොරොත්තුසහගතව සිටිමු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT