Home » මාස 17ට ශ්‍රීලන්කන් ගුවන් ගමන් 548ක් ප්‍රමාදයි

මාස 17ට ශ්‍රීලන්කන් ගුවන් ගමන් 548ක් ප්‍රමාදයි

විගණන වාර්තාවක් කියයි

by mahesh
January 10, 2025 1:00 am 0 comment

රන්මලී සෝමසිරි

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් වාර 548ක් මාස 17ක කාලයක් තුළ (2022 අප්‍රේල් 01 වැනිදා සිට 2023 සැප්තැම්බර් 30 වැනිදා දක්වා කාලයේ) ප්‍රමාද වී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි. පැය 03 සිට පැය 59 දක්වා කාලයක් මෙම ගුවන් ගමන් වාර ප්‍රමාද වී ඇති බවත් එයාකාරයෙන් ගුවන් ගමන් ප්‍රමාදයන් සහ බාධා කිරීම් හේතුවෙන් ගුවන් සමාගම අමෙරිකන් ඩොලර් 784,000ක මුළු පිරිවැයක් දරා ඇති බවත් එම වාර්තාවේ දැක්වෙයි.

මෙලෙස සිදුවන ගුවන් ගමන් ප්‍රමාදයන් සඳහා ප්‍රතිෂ්ඨාපන ගුවන්යානා නියමිත වේලාවට ගැනීමට නොහැකි වීම, සේවා කළ නොහැකි එන්ජින් ගොඩබිම පැවතීම, ගුවන්යානා අමතර කොටස් ගැනීමට දිගු කාලයක් ගතවීම සහ සමාගමේ මුදල් ප්‍රවාහන තත්ත්වය යන කරුණු ප්‍රධාන ගුවන් ගමන් ප්‍රමාදයට හේතු ලෙස හඳුනාගෙන තිබිණි.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ අවශ්‍යතා තක්සේරුවට අනුව ගුවන්යානා 27ක් අවශ්‍ය වුවද සමාගම සතුව ඇත්තේ ගුවන්යානා 21කින් සමන්විත ඇණියකි. 2024 අප්‍රේල් 20 වන විට මෙම ගුවන්යානාවලින් නවයක් විවිධ කාලවලදී සේවයෙන් ඉවත් කර ඇත. ගුවන් සමාගම 2023 වසරේ සිට සේවයෙන් බැහැර ගුවන්යානා සඳහා රුපියල් මිලියන 6404.76ක් කල්බදු කුලී ලෙස ගෙවා තිබිණි.

තවද එන්ජින් සඳහා අලුත්වැඩියා වියදම් මූලික ඇස්තමේන්තු ඉක්මවා ඇති අතර මේ නිසා මුදල් ප්‍රවාහ ගැටලුවලට සහ සේවයට ආපසු යෑම හෝ සේවයෙන් බැහැර ගුවන්යානා අලුත්වැඩියා කිරීම තවදුරටත් ප්‍රමාද වීමට හේතු විය හැකි බව ද එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT