Home » ශ්‍රී ලංකා මුහුදු සීමාව ආක්‍රමණය කළ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආක්‍රමණය කළ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට

by chanaka
January 9, 2025 11:32 am 0 comment

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කළේ ඊයේ(08) රාත්‍රියේ යාපනය කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

ඊයේ රාත්‍රි කාලයේ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක්, එම විධානයට අනුයුක්ත නාවික හමුදාවේ සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ වේග ප්‍රහාරක යාත්‍රා යොදවා සිදු කර ඇත.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් දස දෙනා කන්කසන්තුරය වරාය වෙත රැගෙන පැමිණ ඇති අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇතැයි නාවික හමුදාව සදහන් කරයි.

විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා, දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT