විදේශගතව සිටින සිය පියා සමඟ වීඩියෝ දුරකතන ඇමතුමක මව යෙදී සිටින අතරතුර අවුරුදු එකහමාරක් වයසැති දරුවා, මිදුලේ තල්ලු කරමින් සිටි විල්බැරෝව විදුලි වයරයක පැටලී විදුලි සර වැදී මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ ඇහැටුවැව පොලිස් වසමේ ගල්ලෑව, මකුලෑව ලිපිනයෙහි පදිංචිව සිටි ඩී.එම්. නෙලීෂ අයාෂ් නමැති මාස 22ක් වයසැති සිඟිත්තෙකි. මෙම දරුවා පවුලේ බාලයාය. මෙම අවාසනාවන්ත මරණය සිදුව ඇත්තේ පෙරේදා (07)ය.
මෙම දරුවාගේ පියා විදෙස්ගතවී සිටියි. මව, දරුවන් දෙදෙනා සමඟ පදිංචිව සිට ඇත්තේ සැමියාගේ නිෙවසේය. නැන්දම්මා සමග ඇතිවූ අමනාපයක් හේතුවෙන් එම නිවෙස අතහැර දරුවන් ද රැගෙන ඇහැටුවැව, නිතලව ප්රදේශයේ කුලී නිවෙසකට ඇය පදිංචියට පැමිණ ඇති බව පොලීසිය සඳහන් කරයි.
විදෙස්ගතව සිටින සැමියා සමඟ මෙම කාන්තාව වීඩියෝ තාක්ෂණය ඔස්සේ දුරකතන සංවාදයක පෙරේදා යෙදෙන අතරේ කාමරයේ රැඳී සිටි දරු දෙදෙනා පිටතට ගොස් ඇත. බාල දරුවා මිදුලේ තිබූ විල්බැරෝවක් වැටි වැටී තල්ලු කරගෙන මීටර් 15ක පමණ දුරකින් යුත් යාබද නිෙවසට යන අතරේ භූගත වයරයේ විල්බැරෝව දැවටී ඇත. වයරයට සිදුව තිබුණු විදුලි කාන්දුවක් හේතුවෙන් දරුවාට එහිදී විදුලි සර වැදී ඇතැයි පොලීසිය සඳහන් කරයි. එම විදුලි සරෙන් දරුවා මියගොස් ඇත.
ගල්ගමුව හදිසි මරණ පරික්ෂක රණවීර මහතා මරණ පරීක්ෂණය පැවැත්විය. මෙම බිලිඳු මරණය විදුලි සර වැදීමෙන් වූ මරණයක් බවට එහිදී හදිසි මරණ පරීක්ෂකවරයා තීන්දු කළේය.