රජයේ පාසල්වල දැනට ගුරුවරුන් ලෙස සේවයේ නියුක්තව සිටින සංවර්ධන නිලධාරීන්ව ගුරු සේවයට අන්තර් ග්‍රහණය කරන ලෙස ඉල්ලා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවති උද්ඝෝෂණය අතරතුර පොලිස් නිලධාරීන් තිදෙනකු තියුණු ආයුධයකින් කපා තුවාල කළ ප්‍රධාන සැකකරු තලංගම පොලීසිය මඟින් පෙරේදා (07) අත්අඩංගුවට ගෙන ඇත.
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට මෙම සැකකරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හඳුනා ගැනීමේ පෙරට්ටුවක් දක්වා ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතා සඳහන් කළේය.
වීරකැටිය කටුවැව අරලිය උයනේ පදිංචිකරුවකු වන මෙම සැකකරු වයස අවුරුදු 42ක් වන නෙල්සන් හාමු නමැති අය බව පොලීසිය සඳහන් කරයි.
වීරකැටියේ පාසලක සේවයේ නිරතව සිටින මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට අවස්ථා කිහිපයකදීම පොලීසිය ඔහු පදිංචි නිවෙසටත් පාසලටත් ගිය බව මංගල දෙහිදෙණිය මහතා කීය. දිගින් දිගටම පොලීසිය ඔහු සොයා වැටලීම් කරමින් සිටියදී පෙරේදා (07) නීතිඥවරයකු සමඟ පොලිස් ස්ථානයට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව ද මංගල දෙහිදෙණිය මහතා පැවසීය.
උද්ඝෝෂණය අතරතුර තියුණු ආයුධයකින් පොලිස් නිලධාරීන් තිදෙනා කැපීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලෙස මෙම පුද්ගලයාව හඳුනාගෙන සිටි බව ද මංගල දෙහිදෙණිය මහතා සඳහන් කළේය. උද්ඝෝෂණය අතරතුර පොලිස් ජීප් රථයක් ඉදිරිපිට බිම දිගාවී කලහකාරී ලෙස හැසිරුණේ ද මෙම පුද්ගලයා බව පොලීසිය සඳහන් කළේය. පැලවත්ත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පාසල් සඳහා අනුයුක්ත කර ඇති සංවර්ධන නිලධාරීන් තමන්ව රජයේ පාසල්වල ගුරුවරුන් ලෙස අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයේ නිරත වන්නේ පසුගිය 02 වැනිදාය. සාමකාමීව පැවති මෙම උද්ඝෝෂණය පසුව නොසන්සුන් තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් සමඟ උද්ඝෝෂණයේ නිරත වූ පිරිස් ගැටෙන තැනට පත්විය. එහිදී උප පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් කොස්තාපල්වරු දෙදෙනකු උද්ඝෝෂකයන් අතර සිටි අයකු විසින් තියුණු ආයුධවලින් කපා තුවාල කර තිබිණි. මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස පොලීසිය මඟින් කළ පරීක්ෂණවලින් සහ මෙදින මෙම උද්ඝෝෂණය වීඩියෝගත කළ පුද්ගලයන්ගේ වීඩියෝ දර්ශන ලබාගෙන කළ සියුම් පරීක්ෂාවේදී පොලිස් නිලධාරීන්ව තියුණු ආයුධයකින් කපා තුවාල කළ පුද්ගලයා හඳුනා ගැනීමට පොලීසිය සමත් වී ඇත.
උද්ඝෝෂණය පැවති දින පොලීසිය සැකපිට සිවුදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණු අතර දෙසැම්බර් 14 වැනිදා තවත් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට තලංගම පොලීසිය සමත් විය.