Home » පරණ පාරේ හති හලන කපිල කුමාර !

පරණ පාරේ හති හලන කපිල කුමාර !

by Gayan Abeykoon
January 9, 2025 1:40 am 0 comment

පිල කුමාර කාලිං­ගගේ නිර්මාණ උල්පත් සිඳී­ගොස් ඇතැ’යි කෙනකු සිත­න්නට පුළු­වන. සෑම ලේඛ­ක­ය­කුට ම අව­සන් මොහොත දක්වා නිර්මාණ අභ්‍යා­ස­යෙහි යෙදිය නොහැ­කිය. එය පිළි­ගත් යථා­ර්ථය වෙයි. ඔහුගේ අභි­නව කෙටි­කතා සංග්‍ර­හය දෙස බලන විට අපට හැඟී යන්නේ ඔහු පරණ පාරේ ම දිව­ය­මින් හති­හ­ලන බවය. එය ඇත්තක් ද, බොරු­වක් ද යැයි විමසා බලන කෙනකු “ගේට්ටුව ළඟ නතර කළ රථය” නම් කෙටි­කතා සංග්‍ර­හය කියවා බැලිය යුතුය.

කපිල කුමාර කාලිං­ගගේ අභි­නව කෙටි­කතා සංග්‍ර­හය “ගේට්ටුව ළඟ නතර කළ රථය” යනු­වෙන් හඳුන්වා ඇත. ඊට විවිධ අත්දැ­කීම් පාදක කර­ගත් නිර්මාණ දහ­යක් ඇතු­ළත්ය. අපේ රටේ පම­ණක් නොව; සමස්ත සාහිත්‍ය ලෝක­යෙහි ම කෙටි­කතා සංග්‍රහ පළ­වීමේ යම් අඩු­වක් දකි­න්නට ලැබේ. එහෙත් බුද්ධි විෂ­යය වින්ද­න­යේදී නව­ක­තාව පර­දවා කෙටි­ක­තාව ඉදි­රි­යෙන් සිටියි. එය 19 සිය­වසේ පටන් ම ලෝක ප්‍රබන්ධ කථා විෂ­ය­යෙහි දක්නට ලැබෙන එලෙ­සම අනා­ග­ත­යේත් දැක­ගත හැකි යථා­ර්ථ­යක් ලෙස දැක්විය හැකිය.

ප්‍රබන්ධ කථා විෂ‍ය­යෙහි ලා පවත්නා ප්‍රකට අධ්‍ය­ය­න­වල සඳ­හ­න්වන අන්ද­මට එහි විඳීම, ආක­ර්ෂ­ණය හා ප්‍රහ­ර්ෂය දෙයා­කාර වේ.

(I) සංවේ­දනා හුවා­ද­ක්වන ප්‍රබන්ධ

(II) බුද්ධිය අවු­ළු­වා­ලන ප්‍රබන්ධ

කෙටි­ක­තාව, රොමෑ­න්තික, විද්‍යා­ත්මක, මනෝ­මූල ආදී වශ­යෙන් වර්ගී­ක­ර­ණ­ය­කට ලක් කළ හැකි වුව එය සිහි­න­යක්, මායා­වක් නොවිය යුතු යැයි මත­යක් තිබේ.  එහි යටි අර්ථය වන්නේ කෙටි කතාව බුද්ධි­යට හා තර්ක­යට ගෝචර වෙමින් යථා­ර්ථ­වාදී නිර්මා­ණ­යක් වීම වඩා වැද­ගත් වන බවය. අපගේ හඳු­නා­ගැ­නී­මට අනුව කපි­ලගේ කෙටි­කතා ඔස්සේ බහුල ලෙසින් මතු­වන්නේ මිනි­සාගේ සංවේ­ද­නාය. සාංකාව, හුදෙ­ක­ලාව, විස්මය, පාළුව, තනි­කම ආදී මාන­වීය හැඟීම් උද්දී­ප­නය සඳහා කතු­ව­රයා වැඩි නැඹු­රු­වක් දක්වන බව පෙනෙයි. ඔහුගේ අභි­නව කෙටි­කතා සංග්‍ර­හයේ එන නිර්මාණ දහය ද සම­ස්ත­යක් ලෙස ගත් කල ඉන් බැහැ­රට යන්නේ නැත.

මේ කෘති­යෙහි පෙර­ව­ද­නෙහි ලා කපිල  සඳ­හන් කරන විශේෂ කරුණු දෙකක් කෙරෙහි අව­ධා­නය යොමු කිරීම වැද­ගත් යැයි හැ‍ඟේ. පෙර­ව­දන සඳහා ලබාදී ඇති සිර­ස්ත­ලය වන්නේ “කෙටි­යෙන් කියමි” යන්නය.

(I) අසන, දකින, කිය­වන අත්වි­ඳින ඇතැම් දෑ මා කෙටි­කතා ලිවීම කෙරෙහි පොල­ඹ­වයි.

(II) විවිධ ආඛ්‍යාන ශෛලීන් මෙන්ම භාෂා රටා ද මගේ මේ කතා තුළ දැක­ගත හැකිය.

එදි­නෙදා අසන – දකින හැම සිදු­වී­මක් ම කෙටි­ක­තා­ව­ලට ගැළ­පෙන්නේ නැත. ඒ සඳහා තෝරා­ගැ­නී‍මක් කළ යුතුය. ජීවි­තයේ පොදු අත්දැ­කීම් පාදක කොට­ගෙන කෙටි­කතා නමින් වැල්ව­ටා­රම් ලිවීම අද බොහෝ­විට සිදු වෙයි. කපිල ද එය අනු­මත කරන බව පෙනෙයි. එම අද­හ­සින් ආධු­නික රච­කයා නොමඟ යා හැකිය. කෙටි­ක­තාව එක­තැන පල්වෙන නිර්මාණ විශේ­ෂ­යක් බවට පත් වී ඇත්තේ ද, ඇතැ­ම්විට පොත් ප්‍රකා­ශන සමා­ගම් කෙටි­කතා සංග්‍රහ පළ කිරී­මට මැළි­ක­මක් දක්වන්නේ ද මෙබඳු හීන­මාන ආකල්ප නිසා­යැයි සිතේ. ඇන්ටන් චෙකෝෆ් වරක් ප්‍රකාශ කළ අළු බඳු­නක් ගැන වුව කතා­වක් රචනා කළ හැකි­යැයි කියන ප්‍රසිද්ධ කිය­මන මේ සමඟ පට­ලවා ගත යුතු නැත. චෙකෝෆ්ගේ කිය­මන වැරැ­දි­යට කිය­වා­ගත් පිරිස වැඩි බව අව­ධා­ර­ණය කළ යුතුය.

කපි­ලගේ දෙවන  අද­හස ලේඛ­කයා අව­ධා­ර­ණය කළ යුත්තක් නොවේ. එය තීන්දු කළ යුත්තේ පාඨ­කයා ය. නැත­හොත් විචා­ර­කයා ය. තමන්ම ඉදි­රි­යට පැන තමන්ගේ භාෂාව, ආඛ්‍යාන රටා හා ශෛලීන් ගැන වර්ණ­නා­ත්මක සට­හන් තැබීම අපේ වච­න­ව­ලින් කිව­හොත් බැහැර කළ යුතු  “ගොන්කම්” එකකි.

නූතන කෙටි­ක­තාවේ නව ප්‍රව­ණතා කෙරෙහි විමැ­සිල්ල යොමු කරන විට පෙනී යන වැද­ගත් ලක්ෂ­ණ­යක් වන්නේ රච­ක­යන් කෙටි­කතා මූල­ධර්ම තුනක් කෙරෙහි දැඩි අව­ධා­නය යොමු කරන බවය.

(I) කතා වස්තු ගොඩ­නැ­ඟීම

(II) චරිත නිරූ­ප­ණය

(III) නිර්මා­ණා­ත්මක භාෂාව

කෙටි­ක­තා­ක­රුවා ශක්ති­මත් කතා වස්තු­වක් ගොඩ­න­ඟා­ගත යුතු බව අතී­තයේ සිටම පිළි­ගැ­නිණි. එය තව­දු­ර­ටත් පැහැ­දිලි කළ­හොත් කෙටි­ක­තා­ක­රු­වට එකි­නෙ­කට ගැළ­පෙන ලෙස නොව සිද්ධි ගළ­ප­මින් තාර්කික ලෙස කතා  ව්‍යූහ­යක් සකස් කර ගත යුතු බවය. කපි­ලගේ කතා වස්තු ගොඩ­නැ­ඟීම දුර්ව­ලය. ඇතැම් කතා­වක් නිමාව කරා ගෙනයා ගත නොහැ­කිව රච­කයා කරන තැට­මිල්ල දකින විට ඔහු ගැන දුක සිතෙයි.  “කොටියා හා බෝනික්කෝ” නමින් මේ කතා සංග්‍ර­හ­යෙහි ඇති දෙවන කතාව ඊට කදිම නිද­සුන ලෙස ගත හැකිය.

කතා­වෙන් කියැ­වෙන්නේ මහේ­න්ද්‍රන් නම් වූ යාපන වැසි­යකු පිළි­බඳ කතා­වකි. ඔහු වනාහී කුටු­ම්භ­යට බෙහෙ­වින් ළැදි සාම­කාමී ජීවි­ත­යක් ගත කරන යහ­පත් පුර­වැ­සි­යෙකි. මහේ­න්ද්‍රන් ගණ­කා­ධි­කා­ර­ව­ර­යකු වන අතර ඔහු කොළඹ පන්ස­ලක ඇති බෝඩි­මක නැවතී අග­නු­වර කාර්යා­ල­යක ණය සේව­ක­යකු ලෙස රාජ­කාරි කරයි. සති අග නිවෙ­සට යෑම පුරු­ද්දක් කර­ගෙන සිටින මහේ­න්ද්‍රන් ඉන් මහත් ආස්වා­ද­යක් ලබයි.  ත්‍රස්ත­වාදී අර්බුද උග්‍ර වූ කාල­යක  මහේ­න්ද්‍රන් පොලි­සියේ සැක­යට භාජ­නය වෙයි. ඒ අනුව ප්‍රශ්න කිරී­ම්ව­ලට මුහුණ දෙන මහේ­න්ද්‍රන් පොලිස් අත්අ­ඩං­ගු­වට පත්වෙයි.

වරෙක යාප­න­ය­ටත්, තව වරෙක කොළඹ පොලිස් මූල­ස්ථා­න­ය­ටත් කැඳ­වන මහේ­න්ද්‍රන් බර­ප­තළ අර්බුද රැස­කට මුහුණ දෙයි. ඔහුගේ බෝඩිමේ සඟවා ඇති පුපු­රණ ද්‍රව්‍ය කිහි­ප­යක් ද පොලි­සි­යට හමු­වෙයි. ඒ අනුව තත්ත්වය බර­ප­තළ වෙයි. උසා­වි­යට ඉදි­රි­පත් කරන මහේ­න්ද්‍රන් සිර­ගත කරනු ලැබේ.  කල­කට පසුව ප්‍රමා­ණ­වත් සාක්ෂි  නැති­කම නිසා මහේ­න්ද්‍රන් හිරෙන් නිද­හස් වෙයි.

මේ කතාව ගොඩ­නැ‍ඟෙන්නේ අති­ශය සාම්ප්‍ර­දා­යික විලා­ස­ය­ක­ටය. ඉබා­ගා­තේ­යන කතාව හමාර කරන්නේ මහේ­න්ද්‍රන් නිවෙ­සට ගොස් පසුව කොටි­යකු ලෙස  ගෙර­වී­මෙන්ය. කතා වස්තු ගොඩ­නැ­ඟීම දුර්වල බැවින් සාර්ථක අව­සා­න­යක් නැත. චරිත නිරූ­ප­ණය  දුර්ව­ලය. අන­වශ්‍ය විස්තර වැල්ව­ටා­රම් වැඩි කතාවේ කිසිදු ආක­ර්ෂ­ණ­යක් නැත.

“ඈත මුහුද දෙසින්, බැස යන හිරුගේ රත්පැ­හැති රැස් දහර, අහස් කුස පුරා පැතිර ගොසිනි. පොලිස් වෑන් රථය මද වේග­යෙන් ඉදි­රි­යට ඇදෙයි. තමන්ට හුරු – පුරුදු දේශ සීමා­වෙන් කෙමෙන් ඈත්වීම ගැන මහේ­න්ද්‍රන් තුළ පෙර කී හැඟීම් හට­ග­නියි.  දිවා කාලයේ බිරිඳ හා දිය­ණිය සමඟ කළ කී දෑ ඔහුට යළි සිහි­පත් වෙයි….”

(පිටුව 27)

මෝප­සංගේ අනර්ඝ ගුරු­ව­රයා වූ ෆ්ලෝබෙයා අප සිහි­යට නැ‍ඟේ. ඔහුගේ ඉගෙ­නී­මට හා උප­දේ­ශ­න­යට අනුව කතු­ව­රයා කතා­වෙන් ඉවත් විය යුතුය. තමන් ඉදි­රි­පත් වී සිදු­ක­රන පණ්ඩි­ත­මානී විස්තර වර්ණනා වෙනු­වට කතා­ව­කට නිද­හසේ ගලා යන්නට ඉඩ­දිය යුතුය. කතා­වක අව්‍යා­ජ­ත්වය පව­තින්නේ එවි­ටය. අනෙක් අතින් චරි­ත­වල සුවි­ශේ­ෂතා හඳු­නා­ගෙන ඒවා නිරූ­ප­ණය කළ යුතුය. කිසිදු තැනැ­ත්තෙක් තව තැනැ­ත්ත­කුට සමාන නොවේ.  සමා­නව වැලි­කැට දෙකක් නොමැති පරි­ද්දෙනි. දක්ෂ රච­කයා මේ වෙනස වට­හා­ගෙන ඒවා නිරූ­ප­ණය කරයි. ප්‍රංශයේ මහා කෙටි­ක­තා­ක­රුවා ලෙසින් ප්‍රකට මෝපසං සිය ගුරු­ව­ර­යාගේ උප­දේ­ශන ඒ අයු­රින්ම අධ්‍ය­ය­නය කොට නිර්මාණ අභ්‍යා­ස­යෙහි යෙදුණු බව පිළි­ගත හැකිය. ඔහුගේ ඕනෑම කෙටි­ක­තා­වක් ඊට සාක්ෂි ලෙස පවතී.

කපිල කුමා­රගේ උක්ත සංග්‍ර­හ­යෙහි නිර්මාණ කුමන අංශ­ය­කින් හෝ ඉදි­රි­ගාමී නැත. කතා වස්තු ගොඩ­නැ­ඟීම අන්තිම දුර්ව­ලය. ඒ නිසාම කතා අයාලේ යයි. සාර්ථක හා ප්‍රබල නිමා­වක් කිසිදු කතා­වක නැත. ඔහුගේ භාෂාව ද නිර්මා­ණා­ත්මක නැත. භාෂා භාවි­ත­යෙන් දැක­ගත හැක්කේ හම්පඩ ගති­යකි.  අපට පෙනෙන පරිදි කපිල කුමාර පරණ පාරේම දුව­මින් එක තැනෙක නැවතී හති හලයි.

කපිල මේ කෘති­යෙ­හිලා FLASH FICTION  ගැන ද සඳ­හන් කර ඇත.  FLASH FICTION යන්නෙහි අධ්‍යාස දෙකක් පවතී.

(I) කෙටි කතාව වඩාත් සංක්ෂිප්ත වීම වැද­ගත්ය.  එය වැල්ව­ටා­ර­ම්ව­ලින් නිද­හස් කර­ගත යුතුය.

(II) කෙටි­ක­තාව ප්‍රබල – දීප්ති­යක් සහිත කතා­වක් බවට පත්ක­ර­ගැ­නීම ද වැද­ගත්ය. එහි අර්ථය වන්නේ එම ප්‍රබ­න්ධයේ විස්මය,ගැඹුර, උප­රිම අයු­රින් මතු­කර ගත යුතුය.

කපි­ලගේ අලුත් කතා­වල ඉහ­තින් දක්වන ලද කිසි­වක් නැත. ඒවා හුදු ඕලා­රික කතා ලෙස බැහැර කිරී­මට සිදු වේ.

 

රන්ජන් අම­ර­රත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT