කෙනකුට ස්වකීය ජීවිත කාලය ඇතුළත තමා විසින් නොකරන ලද වරදකට වන්දි ගෙවීමට සිදු විය හැකි ය. එසේ සිදු වන්නේ නම් එය බරපතළ තත්ත්වයකි. ජීවිතයේ විවිධ අවස්ථාවල බොහෝ දෙනකුට එවැනි අභාග්‍යසම්පන්න සිදුවීම්වලට මුහුණ දීමට සිදු වූ අවස්ථා තිබිය හැක.
වත්මන් ආණ්ඩුවට ද පසුගියදා තමන් නොකළ වරදකට වන්දි ගෙවීමට සිදුවිය. ඉකුත් ආණ්ඩුව විසින් සිදු කරන ලද බාල ඖෂධ ජාවාරම නිසා අක්ෂි ආබාධවලට ලක් වූ දාහත් දෙනකුට වන්දි ගෙවීමට වර්තමාන ආණ්ඩුවට සිදුවිය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, මේ සම්බන්ධයෙන් සඳහන් කළේ ඉකුත් රජය සමයේ මෙරටට බාල ඖෂධ ගෙන්වූ සමාගමට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. එපමණක් නොව; නුවරඑළිය මහ රෝහලේදී සිදු කළ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම්වලදී තත්ත්වයෙන් බාල ඖෂධ භාවිත කිරීම හේතුවෙන් ඇස් අන්ධ වූ සහ විවිධ අක්ෂි ආබාධවලට ලක් වූ දාහත් දෙනකුට ලක්ෂ දෙකහමාරේ සිට ලක්‍ෂ දහය දක්වා වන්දි ගෙවීමට තීරණය කර ඇති බවද එහිදී කියවිණි.
මේ, ඇත්තටම නොකළ වරදකට වන්දි ගෙවීමකි. එහෙත් රජයක් ලෙස වින්දිත පාර්ශ්වයට සාධාරණය ඉටු කිරීමේ වගකීමක් පවතියි. වත්මන් ආණ්ඩුව විසින් ඉටු කරනු ලැබුවේ ඒ සමාජ වගකීමයි.
මේ බාල ඖෂධ ජාවාරම සිදු කරන විට මෙරට සෞඛ්‍ය ඇමැතිවරයාව සිටියේ කෙහෙළිය රඹුක්වැල්ලයි. ඒ ඖෂධ ජාවාරමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනකු ද විවිධ අන්දමින් උදවු කර තිබිණි. මේ නිසා කෙහෙළිය රඹුක්වැල්ලට ද ඒ නිලධාරි පෙළැන්තියට ද බන්ධනාගාරගත වීමට සිදු වූ අතර, හිටපු අමාත්‍යවරයාට අයත් දේපළ තහනම් කිරීමක් ද සිදුවිය.
ගත වූ වසර හැත්තෑහයක කාල සීමාවේදී මෙරට විවිධ අන්දමේ දූෂණ, වංචා, අක්‍රමිකතා සිදුව ඇත. එහෙත් බාල ඖෂධ ජාවාරම යනු ග්‍රාමීය සමාජ භාෂාවෙන් කියන්නේ නම් හෙණ ගහන වැඩකි. මන්ද යත්: මේ ඖෂධ භාවිත කළේ මෙරට දුප්පත්, පීඩිත පන්තියේ ජනතාව වන බැවිනි. නිදහස් සෞඛ්‍ය සේවයේ පිහිට පතන අති බහුතරය අතිශය දුප්පත් ජනයා වන බැවිනි. ඔවුන්ගේ බෙහෙත් පෙත්තෙන් හොරකම් කිරීම පමණක් නොව, ඔවුන්ට තත්ත්වයෙන්, ප්‍රමිතියෙන් බාල ඖෂධ දී ඔවුන්ව මියයෑමට සැලැස්වීම සත්තකින්ම හෙණ ගහන වැඩකි.
බාල ඖෂධ ජාවාරම මෙරට දූෂණ, වංචාවල කාලයක් තිස්සේ පැවති මහා පොදු සාධකයක් ලෙස සැලකිය හැකි ය. ඊට හේතුව, මීට පෙර පැවති සෑම ආණ්ඩුවකම සෞඛ්‍ය ඇමැතිවරුන් රිසි සේ මුදල් උපයා ගැනීමට මෙකී ඖෂධ ජාවාරම උපයෝගී කර ගෙන ඇති බව ඉතිහාසය පරීක්ෂා කිරීමේදී හඳුනාගත හැකි වීම ය.
ගෙවුණු කාලයේදී ඇමැතිවරු ටෙන්ඩර් පටිපාටිය තුළ මුදල් ගසාකෑ බව අප හොඳින් දන්නා කරුණකි. එහෙත් පසුගිය කාලයේ පත්වූ බොහෝ සෞඛ්‍ය ඇමැතිවරුන් රෝගීන්ට බාල බෙහෙත් දී ඔවුන්ව මිය යෑමට සැලැස්වීම හෙණ ගහන වැඩක් නොවේදැයි ප්‍රශ්න කළ යුතුව ඇත.
ඖෂධ යනු රෝගී ජීවිතය සමඟ ඍජු ලෙසම බද්ධවූවකි. ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ හදිසි මිල දී ගැනීම් ලෙස ඉමියුනෝග්ලොබියුලින් නමැති ඖෂධ වෑල්ව් මිල දී ගෙන තිබූ අතර, එයට ලක්ෂ හාරසිය පනහකට අධික මුදලක් වැඩිපුර ගෙවා තිබූ බව සඳහන් විය.
මේ දූෂිත ගනුදෙනුවේදී හිටපු අමාත්‍යවරයා සහ නිලධාරි පිරිසක් අත යට කොමිස් කුට්ටියක් කඩා ගත්තා පමණක් නොව, තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන්වීම නිසා බොහෝ පිරිසක් රෝගී වී, තවත් පිරිසකට මිය යෑමට ද සිදු විය.
මීට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වූයේ මෙරට දූෂණය, වංචාව ඉහවහා ගිය රටක් බවයි. ඒ නිසා මෙරටට ණය වාරික දීමේදී දූෂණය, වංචාව පිටුදැකීම සඳහා වූ යෝජනා ද ඇතුළත් විය.
මේ ඖෂධ ජාවාරමේදී අදාළ ඖෂධය ගෙන්වා, එයට මෙරටදී කිසියම් ද්‍රාවණයක් පුරවා ඇති බව අනාවරණය විය. මේ සිද්ධියෙන් මියගිය අය අතර හිටපු ඇමැතිවරයාගේ දිස්ත්‍රික්කයේම වයස අවුරුදු විසිතුනක ගැබිනි මවක් ද වූවා ය.
ජීවිතය ආරම්භ කිරීමටත් ප්‍රථම තරුණ මවකට දිවි අහිමි වේ නම්, එය ඛේදවාචකයකි. එය දූෂිත දේශපාලනය හා සම්බන්ධ කාරණයක් වීම නිසා තවත් බරපතළ, කනගාටුදායක කරුණකි. කොමිස් දේශපාලනයේ ඉත්තකු ලෙස තරුණ මවකට මියයෑමට සිදු වේ නම්, එකී සමාජයේ ඇති සමාජ සාධාරණත්වය කවරක්දැයි ප්‍රශ්න කිරීමට සිදු වනු ඇත.
මේ නිසා තවදුරටත් බාල ඖෂධ ජාවාරම ඇතුළු සියලු දූෂිත දේශපාලන ජාවාරම්වලට වගකිවයුත්තන් සැඟවුණු අමුත්තාට ඇඳීමෙන් පලක් නැත. ඔවුන් කවුරුන්දැයි හෙළිදරවූ කළ යුතුය. හෙළිදරව් කිරීමෙන් පමණක් පලක් නැත. ඔවුන්ට නීතියෙන් ද දඬුවම් දිය යුතුය.
බෙහෙත් පෙත්තෙන් පවා සොරකම් කරන දූෂිත සමාජ ක්‍රමය වෙනස් කළ යුතු ය. එය සරල, සුළුපටු කාරණයක් නොවේ. එබැවින් වත්මන් ආණ්ඩුවට තවත් මෙවැනි පරණ පව්වලට වන්දි ගෙවීමට සිදු වනු ඇත. එය සමාජ වගකීම ඉටු කිරීමක් බව යළි ලියා තබමු. මන්ද යත්: අහිංසක රෝගී ජනතාව දෙවරක් පීඩාවට පත් කිරීම රජයක වගකීමක් නොවන හෙයිනි.
මියගිය අයට හෝ ඇස් අන්ධවූවන්ට වන්දි මුදලක් පිරිනැමීම පමණක් ප්‍රමාණවත් නොවන බව අපි දනිමු. ඖෂධ ජාවාරම හා තවත් විවිධ දේශපාලනික ජාවාරම්වලට සම්බන්ධ සියලු දූෂිතයන්ට දඬුවම් කිරීම කාලීන සමාජ අවශ්‍යතාවක් බව යළිත් අවධාරණය කරමු. එමෙන්ම යළිත් වරක් එවැනි ප්‍රවෘත්ති ලිවීමට අපට අවස්ථාව නොලැබෙනු ඇතැයි ද අපි අපේක්ෂා කරමු.
සමාජ පරිවර්තනයේ වෙනස යනු එයයි.