පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මඟින් සිදු කරන ලද විමර්ශනයන් අනුව සැකකරුවන් 747ක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසීය.
සැකකරුවන් සහ සැකකාරියන් 100කට මහාධිකරණයේ නඩු 41ක් පවරා ඇති අතර, නඩු 14ක් වෙනුවෙන් නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර ඇති බව ද ඇමැතිවරයා අනාවරණය කළේය. වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව, නව අදියරක් යටතේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන කටයුතු ආරම්භ කළ බව ද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව ගතවූ 2024 වසරේ නොවැම්බර් 11 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර විමර්ශන කටයුතු සිදු කරන බවත් හෙතෙම පැවසීය.
දැනට වාර්තා වූ කරුණු අනුව නව විමර්ශනයේදී සිවිල් පුද්ගලයන් 12ක්, පොලිස් නිලධාරින් 26ක්, හමුදා නිලධාරින් 07ක්, බන්ධනාගාර නිලධාරින් 03ක් ඇතුළුව පුද්ගලයන් 48 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද ඇමැතිවරයා පැවසීය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාළිකාව තුළින් අනාවරණය වූ කරුණු ද ඊට පරිබාහිරව විමර්ශනවලදී අනාවරණය වූ කරුණු ද පදනම් කර ගනිමින් තවදුරටත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.
වර්තමාන රජය බලයට පත්වූ පසුව මෙම විමර්ශන නව අදියරකින් ආරම්භ වී ඇති බවත් ඒ අනුව පසුගිය නොවැම්බර් 11 වැනි දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න