Sunday, April 20, 2025
Home » අධික මීදුම: කටුනායකට ආ ගුවන්යානා හතරක් හරවා යවයි

අධික මීදුම: කටුනායකට ආ ගුවන්යානා හතරක් හරවා යවයි

by sachintha
January 8, 2025 12:23 am 0 comment

කටුනායක ගුවන්තොටුපොළ හා ඒ අවට ප්‍රදේශය පුරා ඊයේ (07) අලුයම පැවති දැඩි මීදුම් තත්ත්වය හේතුවෙන් ගුවන්යානා හතරක් මත්තල ගුවන්තොටුපොළට හා ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන්තොටුපොළට යොමු කර තිබේ. ඒ මොහොතේ පැවති දැඩි මීදුම් තත්ත්වය හේතුවෙන් ගුවන් නියමුවන්ට කටුනායක ගුවන්තොටුපොළ ධාවන පථය නිසියාකාරයෙන් නොපෙනීම නිසා ඒ මොහොතේ කටුනායක දක්වා පැමිණි ගුවන්යානා වෙනත් ගුවන්තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගත් බව ගුවන්තොටුපොළ කළමනාකරු අරුණ රාජපක්ෂ මහතා පැවසීය. ඩුබායි සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 226, චීනයේ ග්වැන්ෂෝ සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 881, ඉන්දියාවේ බැංගලෝර් සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 174 දරන ගුවන්යානා මත්තල ගුවන්තොටුපොළ වෙත යොමු කර තිබේ.

තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි තුර්කි ගුවන් සේවයේ ටී.කේ. 730 දරන ගුවන්යානය ද ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන්තොටුපොළ වෙත හරවා යවා තිබිණි. මෙසේ හරවා යැවූ ගුවන්යානා සියල්ලම මීදුම් තත්ත්වය පහව යෑමත් සමඟ නැවත කටුනායක වෙත පැමිණ තිබිණි.

රන්මලී සෝමසිරි,

කටුනායක – ටි.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT