මේ දිනවල බොහෝ ප්රදේශවලින් අපට ඇහෙන්නේ අලින්ගෙන්, රිළවුන්ගෙන් වගා බිම්වලට සිදු වන නිමාවක් නැති හානි සඳහා කඩිනම් විසඳුම් දීමට මැදිහත් වන ලෙස රජයෙන් කරන ඉල්ලීම්ය.
මේ කියන්නේ එහෙම කතාවක් නොවේ. සිවුපා සතුන්ගෙන් නොව දෙපා සතුන්ගෙන් තම වගාවන් රැක ගැනීමට ද දැන් ගොවීන්ට සිදුවී ඇත්තේ වගකිවයුත්තන්ගෙන් සාධාරණයක් ඉල්ලමිනි.
මේ පොල්පිතිගම, පන්සියගම පොලිස් වසමෙන් ඇසුණු කතාවකි. එම ප්රදේශයේ නිරන්තරයෙන් වනඅලින් ගැවසෙනු දක්නට ලැබේ.
ගෙවී ගිය නත්තල, වසරක නිමාව මෙන්ම වසරක උදාව නිමිත්තෙන් මේ ගම්වැසියන් විසින් උත්සව පවත්වන ලදි. ඒ අතර සිටි තවත් පිරිසක් නීති විරෝධී අන්දමින් අතමිට සරු කරගැනීමට සිතා සූදු පොළවල් ජයටම පවත්වාගෙන යමින් සිටියහ. මෙයට කිසිසේත්ම නීතියෙන් ඉඩක් නොමැත.
‘සර්, මකුල්පොත පැත්තේ ලොකු සුදු පොළක් ජයටම කරගෙන යනවා. එතැන මහා පරිමාණෙන් බූරුවා ගහන්නේ’ පොලීසියට ලැබුණේ එහෙම ඇමතුමකි. මේ ඇමතුමත් සමඟම පොලිස් ස්ථානාධිපතිවරයා තවත් කණ්ඩායමක් සමඟ එන්නේ මේ කියනා බූරුපොළ වටලන්නටයි. පොලීසිය ලහි ලහියේ බූරුපොළට ළඟාවනු එහි සිටි තරගකරුවන් දැන සිටියේ නැත. ජය පැන් බොමින්, ප්රීති වෙමින්, කයිවාරු ගසමින් සිටි පිරිස මැදට එකවරම පොලීසියෙන් පැන්නේය. කර කියා ගන්නට නොහැකි වූ දස දෙනෙක් හිසේ අත් බදා ගනිමින් සිටියහ. පොලීසිය බූරු පිටියේ තිබූ රුපියල් තුන්දහස් දෙසීයක් සමඟ බූරු කුට්ටම් සහ සැකකරුවෝ අත්අඩංගුවට ගත්හ.
කෙසේ වෙතත් බූරු පිටියේ කප්පිත්තෝ පොලිස් නිල ඇඳුම ඇස ගැටුණු සැණින් දිනූ මුදලුත් රැගෙන පිම්මේ දිව්වේ බූරු ගැසුවාටත් වඩා වේගයෙනි. ඔවුන් පොලීසියට හසු නොවන්නට පලා ගොස් තිබුණේ අසල තිබූ කුඹුරු යායක් පීරමිනි. එළිවන පාන්දර මේ කලබලය නොදත් ගොවි මහතුන් සිය කුඹුරු යායවල් වෙත ආවේ දෑස් මෙන් රකින රන්වන් ගොයම දැකගැනීමේ අරමුණිනි. අවාසනාවකි. හරකුන්, අලින් පෑගු ලෙසින් කුඹුරු යාය සිසාරා තිබුණේ තැළී පොඩිවී විනාශවී ගිය ගොයමකි. වන සතුන් ගොයම විනාශ කළාට වැඩි හානියකින් එම ගොයම විනාශ වී තිබීම ගැන ‘අනේ අපොයි’ කියමින් නිකටේ අත් තබා ගත් ගොවි මහතුන් සුසුම් හෙළුවේ ‘මේවා දෙයියොම බලා ගනිච්චාවේ’ යැයි කියමිනි. පොලීසියේ විලංගු වැටුණු අයවලුන් නම් මහව අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. එහෙත් තම ගොයමට වූ හානියට කාගේ පිහිටක් දැයි ඔවුන් සිතනු ඒකාන්තය.
පොල්පිතිගම – නන්දන කැලේගම