අජිත් තිලකසේන කියන්නේ ඇත්තටම සාහිත්‍යකරුවකු විදියට පරම්පරා කීපයකටම බලපෑම් කළ කෙනෙකි.
අසුව සහ අනුව දශකයන් තුළ “දාර්ශනික රස්තියාදුවේ” නියුතු වෙලා හිටපු තරුණ පරම්පරාවන් වලට අජිත් තිලකසේනගේ බලපෑම ඉතා පැහැදිලිව දකින්න ලැබුණු බව කිව හැකි ය.
අනූව දශකයේ අපගේ පරම්පරාවට එක පසෙකින් ඇල්බෙයා කැමූගේ The Outsider කියන පොත හරහා සාංදෘෂ්ටිකවාදී චින්තනයේ බලපෑමත්, අජිත් තිලකසේනගේ සාහිත්‍යයත් සමානුපාතික වූ බව කිවහොත් වැරදි නොවේ.
ඔහුගේ සාහිත්‍ය භාවිතය තුළ පැවති විශේෂත්වය වූයේ සිංහල සාහිත්‍යයේ නූතනවාදී සීමාවන්ගෙන් ඔබ්බට ගමන් කිරීමට උත්සාහ කිරීමයි. මේ අර්ථයෙන් අජිත් තිලකසේනගේ සාහිත්‍ය භාවිතය පසු නූතන සාහිත්‍ය භාවිතයක් ලෙස සැලකීමට හැකි ය. ‘පාර දිගේ’ චිත්‍රපට තිර රචනය කාලයට වඩා ඉතා ඉදිරියෙන් පැවතීම සඳහා කදිම නිදසුනකි.
ධර්මසේන පතිරාජ විසින් අධ්‍යක්ෂණය කළ “පාර දිගේ” චිත්‍රපටය නරඹද්දී අපිට හැත්තෑව දශකයේ ප්‍රංශ නව රැල්ලේ හුරුවක් දැනෙයි. චිත්‍රපටයේ මෙම ආඛ්‍යානය ගොඩනැඟීමට ප්‍රබල දායකත්වයක් වනුයේ තිලකසේනගේ තිර රචනය බවට සැක නැත. එවැනි නවීකාරක තිර රචනයක් හැත්තෑව දශකය වැනි කාලයක ලියැවීම යනුම හෙතෙම කාලයට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටි කෙනෙකු වග යළි යළිත් තහවුරු කෙරෙන්නකි.
වර්තමාන සමාජ සංදර්භය තුළ පවා අජිත් තිලකසේනගේ සාහිත්‍ය භාවිතය ඉතා නවීකාරක ය. ‘පාරදිගේ ’ එක් තැනෙක චන්දරේ මෙසේ කියයි.
‘‘අපේ ජීවිත හරියට එඬරු දඬු වගේ. මුල් නැතත් දළු දානවා”
සැබවින්ම තිලකසේන යනු අදත් මුල් නැතත් දළුදාන පරපුරකට වුවද, මග කියන්නෙකි. කියවා නොගත් මිනිසෙකි. ලාංකේය සාහිත්‍යයට තැබූ නොමැකෙන මුද්‍රාවකි.