Sunday, April 6, 2025
Home » කෙටිකතා අඳින සිත්තරා

කෙටිකතා අඳින සිත්තරා

by mahesh
January 8, 2025 1:00 am 0 comment

අජිත් තිලකසේන ගේ “හමුවීම” කෙටි කතාවේ ලිලී නීල්සිරි ගේ නිවසට ඇතුළුවන්නේ හතිලමිනි. තමා ‘”විනාඩි 15 ට රික්ශෝ එකෙං” ආ බව ලිලී නීල්සිරිට පවසයි. “විනාඩි 15 ට? විනාඩි? ඔය කියන්නේ ඔරලෝසුවේ විනාඩිද?” නීල්සිරි ඇගෙන් විමසා සිටියි. මෙම කෙටි කතාවේ මෙන්ම තිලකසේන ගේ වෙනත් කෙටිකතාවලත් මිනිස් සමාජය විසින් සම්මත කරගෙන ඇති ඔරලෝසුවේ කාලය පිළිබඳ සංකල්පය අස්ථායී කරයි.

තිලකසේන නිර්මාණය කරන සංකීර්ණ සහ ඛණ්ඩනය වුණු භූදර්ශන තුළ සම්මත කාලය සහ අවකාශය බොඳව යයි. මේ ආකාරයෙන් යථාර්ථවාදී ප්‍රබන්ධ ශානරයට අභියෝග කරන ශ්‍රී ලාංකීය ලේඛකයින් ඇත්තේ අතළොස්සකි.

තිලකසේන ඔහුගේම විශ්වයක් නිර්මාණය කරන්නේ එය සමකාලීන සමාජ, දේශපාලනික සහ ආර්ථික තලයන් හා අන්තර්ඡේදනය වන ආකාරයෙනි. වර්ජිනියා වුල්ෆ් සහ ජේම්ස් ජොයිස් වැනි ලේඛකයින් මනෝ කාලය සහ ඔරලෝසුවේ කාර්මික කාලය වැනි අප සාමාන්‍යකරණය කරගෙන ඇති සංකල්ප දෙස වෙනත් ආකාරයකින් බලයි. වුල්ෆ් සහ ජොයිස් ගේ ලියැවිලි යුරෝපයේ නූතන පුද්ගලයාගේ හුදෙකලාව සහ ඛණ්ඩනය නිරූපණය කළේ නම් තිලකසේන නූතන ලාංකිකයාගේ ස්වභාවය පිළිබිඹු කරයි. ඔහු බොහෝ විට තම අවධානය යොමු කරන්නේ නාගරික සංදර්භවල, එනම් බෝඩිං වල, තට්ටු ගෙවල්වල, ජනාකීර්ණ අවකාශ වල වෙසෙන පහළ මධ්‍යම පාන්තිකයා දෙස ය. බෝඩිංකාරයා යනු ධනවාදය සහ නාගරීකරණය සමඟින් නිර්මාණය වන නවතම පුද්ගලයකු බව සුගතපාල ද සිල්වා සඳහන් කරයි. තිලකසේනගේ කෙටි කතා වල චරිත කීපයක්ම ජීවත් වන්නේ මෙවැනි අවකාශවල ය.

මෙම ලිපියේ මා විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ අජිත් තිලකසේනගේ ඉතාම ප්‍රබල කෙටි කතාවක් වන “හමුවීම” දෙසටය. තමාගේ දොරින් ඇතුළුවන ගැහැනිය ලිලී ලෙස නම් කරන නීල්සිරි, මේ ලිලී නේද යන්න කීප වතාවක් අවධාරණය කරන්නේ ඇයව නම් කිරීමට, ඇයට අනන්‍යතාවක් දීමට මෙන් ය. පැය ගණනාවක සංවාදයකින් පසු තමා නීල් නොවන බවත්, ඇය ලිලී නොවන බවත් පෙනී ගිය විට දෙදෙනා එකිනෙකාගෙන් සමුගනියි. කතාව අවසානයේ නොවිසඳුණු ප්‍රශ්නයක් ඉතිරි වේ. කවුද ලිලී? කවුද නීල්සිරි? මේ සංකීර්ණ ප්‍රශ්නවලට කෙටිකතාවෙන් පිළිතුරක් නැතිවන්නේ සැබෑ ජීවිතයේදී ද මෙවැනි තත්වයන් වලට පිළිතුරක් නැතුවාක් සේම ය.

නූතන යුගයේ තනි වී සිටින ගැහැනු සහ පිරිමි මෙන්ම ශ්‍රී ලාංකීය සංදර්භය තුළ පරිභෝජනවාදයේ මුල් අවස්ථාවන් මේ කතාව තුළින් නිරූපණය වන්නේ විචිත්‍ර ආකාරයෙනි. නීල්සිරි මිලදී ගෙන ඇති සූත්තර සුකුරුත්තන් නිසා ඔහුගේ කාමරය අඩුක් වී ඇති ආකාරය ලිලී දකියි. “වයර් ඇදලා පුරාම” ඇය පවසයි. “ඕනෙ නැති දේවල් ගොඩගහගෙන හින්ද ලයිට් එළියට විහිදිලා යන්න ඉඩක් නැතුව හතර වටේට හෙවනැලි ගහනවා,” යනුවෙන් ලිලී පවසන විට ආලෝකයටවත් නිදහසේ ගමන් කිරීමට නොහැකි වන සේ භාණ්ඩ ගොඩ ගසන ලද කාමරයක් අපට දෘශ්‍යමාන වේ. එඩ්වර්ඩ් ඇල්බී ගේ “The American Dream” නාට්‍යය අවසානයේ එහි චරිතවලට ඔවුන්ගේ නිවසේ ඇවිදීමට අපහසු වන්නේ නිවස විවිධාකාර වූ පරිභෝජන භාණ්ඩවලින් පිරී ඉතිරී ඇති නිසාය. තිලකසේන ගේ කතාවේ යම් ආකාරයකින් මෙවැනි අන්තයකට යාමේ ආරම්භක මොහොතක් සනිටුහන් කරයි.

ඔහු “හමුවීම” රචනා කරන්නේ කොකා කෝලා පානය ලංකාවට හඳුන්වා දුන් කාල වකවානුවේදී ය. කෙටි කතාව අවසානයේ දී ලිලී ලිලී නොවන බවත්, නීල්සිරි නීල්සිරි නොවන බවත් පෙනී ගිය විට ලිලී නික්ම යාමට සැරසේ. ඇය පිටවීමට දොර ඇරිය විට, “දැන්වීමක පාට බුබුළු පෙළක්” ඇසිපිය සලමින් සිටී: “කොකා. කෝලා. කලුයි. කොකා. කෝලා. කලුයි. දොර වැහුණා. කලුයි. ඈ ගියා.” දැන්වීම් පුවරුවේ බුබුළු මේ ලෙස දැල්වීම සහ නිවීම පුනරුච්චාරණය කිරීම තුළින් දැල්වෙන නිවෙන ආලෝකයේ සහ අඳුරේ චලනය ප්‍රතිනිර්මාණය කරයි. මේ දෘශ්‍ය රූපය ඉතා ප්‍රබල ය. සිනමාරූපීය. මේ බහුජාතික පානය හඳුන්වා දීම, වාණිජකරණය සහ ආලෝකයේ නිවීම සහ පත්තුවීම ලිලීගේ නික්මයාම හා සම්බන්ධ වේ. නිවෙන දැල්වෙන බුබුළු තුළින් අප මොහොතකට පෙර ලෝකය බදා ගත් ලිලීගේ සහ නීල්ගේ සම්බන්ධය කුමනාකාරයේ එකක් දැයි සිතීමට පටන් ගනී.

තිලකසේන ඔහුගේ කෘති වල සමීප මිනිස් සම්බන්ධතා සහ ලිංගිකත්වය නිරූපණය කරන ආකාරය ආනන්දජනක ය. “හමුවීම” කෙටිකතාවේ ලිංගික ජවනිකාවෙන් පසු නීල්සිරී ට අහස දෙගුණයක් වී පෙනේ. ඔවුන්ගේ ප්‍රේමාලිංගනය වැසිකිලි හඬ, ඉලෙක්ට්‍රොනික රේසර් හඬ සහ විදේශ භාෂා හා අන්තර්ඡේදනය වේ. ඔවුන් සිටින්නේ ඉතාම තුනී බිත්ති වලින් සැදූ තට්ටු නිවාසයක ය. නමුත් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සහ මැෂින් වලට මැදි වූ ආලිංගනය යාන්ත්‍රික ස්වභාවයක් නොගනී. අහස දෙගුණයක් වී නීල්සිරිට පෙනෙන්නේද මේ සමීප මොහොත නිසාම ය.

අජිත් තිලකසේන ගේ කෘතිවලින් මවන විශ්මයජනක ලෝකය ගැන මීට වඩා ගවේෂණය කළ යුතු ය. තිලකසේන ඉතාම නිර්මාණශීලී ලෙස තමන්ගේ පරිකල්පනය යොදා විශ්මිත විශ්වයන් නිර්මාණය කරන ලේඛකයෙකි. එමෙන්ම පවතින සංදර්භය ඉතාම සියුම් ලෙස තම කෘති හරහා පාඨකයාට අභිමුඛ කරන්නෙකි. නිදසුනක් ලෙස ඔහු විපර්යාසයට ලක්වන භූදර්ශන අප ඉදිරියේ මවයි: “පාර දෙපැත්තෙ කුඹුරු මකල කානු කපලා රබර් ගහන්න.” එ් සමඟම කුඹුුරු සහ මාර්ග සමාන්තරව දිවෙන ඌණ සංවර්ධිත පශ්චාත් යටත් විජිත අවකාශයන් ගේ ප්‍රතිවිරෝධතා මතු කරයි. විපරිණාමය වන මේ අවකාශ වල මිනිසුන් එකිනෙකා හා සම්බන්ධ වීමට තැත් කරයි. සමහර අවස්ථාවලදී මේ නොසිතූ මුණගැසීම් චරිත වලට නව ජීවයක් ලබා දේ. තිලකසේන ඔහුගේ කතා අඳින්නේ මහත් වූ ජවයකිනි; සියුම් විස්තර වලිනි. ඔහු අඳින චලනය වන රූප අප ඉදිරියේ නර්තනයක යෙදෙයි. තිලකසේන ගේ “හමුවීම” කියැවීමෙන් පසුව වුවද ඇසිපි‌ය හෙළන පාට බුබුළු පෙළ, නිවී නිවී පත්තු වෙන කොකා කෝලා දැන්වීම් පුවරුව සහ ඒ ඉදිරියේ නැඟී සිටින ලිලීගේ ඡායාව අප මනසේ යළි යළිත් මැවේ.

ආචාර්ය කංචුකා ධර්මසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT