සිංහල සාහිත්‍ය වංශ කතාවේ ‘තිලකසේන’ නාමය අත්හළ නොහැකි සුවිශේෂ පරිච්ඡේදයකි. සිංහල භාෂාවේ ප්‍රකාශන සීමාව ප්‍රථම වරට සිය නිර්මාණ කාර්යය ඔස්සේ ප්‍රශ්න කිරීමේ ගෞරවය හිමි වන්නේ ද අජිත් තිලකසේනට ය. මෙම ලිපිය මඟින් සාකච්ඡා කෙරෙන්නේ තිලකසේන නිර්මාණ කාර්යයේ දී භාවිත කළ සුවිශේෂ භාෂාව ‘කියවීමේ’ අද්දැකීම පිළිබඳව ය.
තිලකසේන නිර්මාණ කාර්යයේ දී භාවිත කරන භාෂාව සම්මත භාෂාවට වඩා හාත්පසින් ම වෙනස් ය. මෙවැනි විශේෂ භාෂාවක් තිලකසේන භාවිත කරන්නේ හේතු සාධක කිහිපයක් නිසා ය. ඔහු භාෂා ප්‍රතිසංස්කරණවාදියෙකි. සිංහල භාෂාව නූතන භාෂාවක් ලෙස විවිධ තාක්ෂණික මෙවලම් සමඟ භාවිතයට පහසු වන, ඵලදායී බව වැඩි භාෂාවක් බවට පත් කරවීමට එහි වෙනස්කම් සිදු විය යුතු බව තිලකසේන විශ්වාස කරයි. එහි භාෂාත්මක ප්‍රකාශනය වන්නේ ‘පිලි සමරුපීකරණය’ යි. එතැනින් නොනැවතී තිලකසේන සිය නිර්මාණාත්මක ලේඛනවල විවිධ නව අකුරු, සංකේත ද භාවිත කරනු දක්නට ලැබෙයි. නිර්මාණ කාර්යයේ දී නිර්මාණකරුවෙකු ප්‍රකාශ කිරීමට ප්‍රයත්න දරන අද්දැකීම භාෂාවෙන් ඉදිරිපත් කිරීමේ දී භාෂාවේ යම් යම් සීමාවන්ට යටත් වීමට සිදු වේ. මෙම සීමා අතික්‍රමණය කිරීම පිණිස තිලකසේන ඔහුට ම ආවේණික භාෂාවක් සොයාගෙන ගොස් ඇත. එම භෂාව තරණය කිරීමකින් තොරව තිලකසේනගේ පරිකල්පන ලෝකයට ඇතුළු විය නොහැකි ය.
මෙවැනි සුවිශේෂ භාෂාවක් කියැවීමේ දී ආධුනික පාඨකයන්ට මුහුණ දීමට සිදු වන එක් ගැටලුවක් වන්නේ ඔහු සිය ලියමන තුළ භාවිත කරන නව සංකේතාවලිය යි. ඇතැම් තැනෙක තිලකසේන ඇතුළත් කරන මෙවැනි සංකේතයක් ආධුනික පාඨකයා විමතියට පත් කරයි. කියවීමේ අර්බුද ඇති කරයි. පහත දැක්වෙන වාක්‍යය මේ සඳහා නිදසුනකි.
“ඉ්යෙ මෙ ් වෙලාවට මතකද අපි සෙවෝයි එකේ,. අර සාරියෙ බෝඩර ් එක.’ ඔය විදියට, ඔය විදියට. ඈ”
මෙවැනි වැකියක් කියවීමේ දී සම්මත අක්ෂර මාලාව ඉක්මවා ගිය විශේෂ අවබෝධයක් පාඨකයාගෙන් අපේක්ෂා කෙරෙයි. තිලකසේනගේ කෘති කියැවීමේ දී අපේක්ෂා කෙරෙන ‘ඉහළ පාඨකත්වය’ ආධුනික පාඨකයන් කෙරෙන් බලාපොරොත්තු විය නොහැකි ය. තිලකසේන ගොඩනඟන පරිකල්පන ලෝකය වෙත ඇතුළු වීමට සිදු වන්නේ ආධුනික පාඨකයාට නුහුරු, නුපුරුදු කියැවීමක් ඔස්සේ ය. සම්ප්‍රදායික ලෙස අඛණ්ඩ ගලායාමේ කියැවීමක් තිලකසේනගේ නිර්මාණ භාෂාවෙහි දැකගත නොහැකි ය.
තිලකසේන සිය නිර්මාණය රචනයේ දී විවිධ භාෂාත්මක උපක්‍රමය පාඨකයා වෙත ගෙන එයි. මේ අතරින් එක් උපක්‍රමයක් වන්නේ ග්‍රන්ථ මුද්‍රණයේ දී භාවිත කරන අකුරුවල සම්මත ප්‍රමාණයට වඩා කුඩා අකුරු භාවිත කිරීම යි. සිංහල භාෂාවේ කියැවීමේ අද්දැකීම පහසු වන්නේ පිලි සමරූපී වුවහොත් නොව, විසමරූපී වුවහොත් ය. මේ සඳහා උදාහරණයක් වශයෙන් පහත දැක්වෙන වචන සලකා බැලිය හැකි ය.
‘තුඹ නුඹ’
මෙම වචන වේගයෙන් කියවාගෙන යෑමේ දී පිලි සමරූපීකරණය නිසා වචන අතර වෙනස එකවර ග්‍රහණය කර ගැනීමේ අපහසුතා ඇති විය හැකි ය. අකුරුවල සම්මත ප්‍රමාණය කුඩා කොට ඉදිරිපත් කෙරෙන අවස්ථාවක මෙම ගැටලුව උග්‍ර වන බව පෙනෙයි. භාෂා ප්‍රතිසංස්කරණ කාර්යයේ දී තිලකසේන පිලි සමරූපීකරණය වෙනුවෙන් පෙනී සිටිය ද එහි ප්‍රයෝගික ගැටලු ඇති බව මෙවැනි උදාහරණ මඟින් අවබෝධ කරගත හැකි ය.
එසේ ම ඇතැම් තැනක පිලි සමරූපී ලෙස භාවිත කිරීම නිසා වේගවත් කියැවීමක දී පාඨකයා වැරදි අවබෝධයකට එළඹිය හැකි වචන පැවතිය හැකි ය. පහත දැක්වෙන වාක්‍යවල මෙම ලක්ෂණ දැකගත හැකි ය.
“නින්දෙන්ම ර ුවීගේ එක් අතක් එසවුනා. ඈ වෙලාව කීයද ඇහුවෙ ් හැබැහින් හරි හීනෙන් හරි.
තෙමුනා. ක ු ඩය ඔරොත්ත ු නුදුන් කොට අපි මහ ගහක් වටා කල සෙවෙනියකට වෙලා එහි පිටලෑලි මැස්සේ”
මෙම වාක්‍යවල ඇතුළත් රුවී, කුඩය වැනි වචනයක් ආධුනික පාඨකයෙකු ‘රවී, කඩය’ යනුවෙන් කියවා ගැනීමේ සම්භාවිතාවක් ඇත. කියැවීමේ කාර්යයේ දී අකුරින් අකුර කියැවීමක් සිදු වන්නේ නැත. අපගේ ඇස හුරු වී ඇත්තේ වචනයක රූපයට යි. වෙනත් වචනයක හැඩය සමඟ ගැටුම් හා පැටලිලි ඇති නොවීම සඳහා විසම පිලි භාවිතය වැදගත් වේ. දීර්ඝ කාලීනව සම්මත කියැවීමට නිරත වූ පාඨකයන්ට තිලකසේනගේ නිර්මාණ කෘතියක් කියැවීමේ දී යම් ‘කියැවීමේ වෙහෙසක්’ අනිවාර්යයෙන් දැරීමට සිදු වෙයි. එම වෙහෙස දැරීමකින් තොරව තිලකසේනගේ පරිකල්පන ලෝකයට ඇතුළු විය නොහැකි ය.
සිංහල අකුරුවල විකාසනය සැලකීමේ දී ග්‍රන්ථ මුද්‍රණ කාර්යයේ දී අද වන විට සම්මතයක් පෙනෙන්නට ඇත. මාතෘකාවක් හැරුණු කල අන්තර්ගත කරුණු දැක්වීමේ දී සම්මත හැඩය ප්‍රකාශ වන අකුරු භාවිතයට සෑම ප්‍රකාශන ආයතනයක් ම කටයුතු කරනු දැකගත හැකි ය. නිර්මාණ කාර්යයේ දී වුව ද එම සම්මතය ඉක්මවා යෑමට කටයුතු නොකරන්නේ ‘කියැවීම’ හා සම්මත හැඩය අතර නොබිඳිය හැකි සබඳතාවක් පවතින හෙයිනි. සඳගෝමි කෝපරහේවා දක්වන පහත දැක්වෙන අදහස සලකන්න.
“මුද්‍රණාක්ෂර ඇති වන තුරු ම කිසියම් අකුරකට ස්ථාවර හැඩයක් නොතිබිණ. ගල්වඩුවන් මෙන්ම පුස්කොළ පොත් පිටපත්කරුවන් අතින් සිදු වූ වැරදි සිංහල අකුරුවල විකාශනයට බලපෑවේ ය. සිංහල මුද්‍රණාක්ෂරයේ සංවර්ධනයත් සමඟ ම සිංහල අකුරට ස්ථාවර හැඩයක්, සම්මතයක් මෙන්ම තවත් අතකින් රූපික විවිධත්වයක් ද ලැබිණ.”
මෙසේ සිංහල අකුරුවල සම්මත හැඩය ඉක්මවා යෑම තිලකසේනගේ ලිපි-ලේඛනවල දැකගත හැකි ලක්ෂණයකි. පිලි සමරූපී කරලීම භාෂා ප්‍රතිසංස්කරණ ප්‍රවේශයකින් නූතනත්ව ලක්ෂණයක් වුව ද ආධුනික පාඨකයන් කියැවීමේ අර්බුදයකට පත් කරවන ක්‍රියාවලියකි. තිලකසේනගේ ලිපි-ලේඛන කියවීමේ වෙහෙස ඇති වන්නේ අකුරුවල සම්මත තත්ත්වය ඉක්මවා යෑමට හෙවත් පිලි සමරූපී ප්‍රවේශයකින් සිය අදහස් ඉදිරිපත් කරන හෙයිනි.
තිලකසේනගේ නිර්මාණ කෘතියක් කියැවීම ආධුනික පාඨකයෙකුට වෙහෙසර වුව ද භාෂා තරණයෙන් ඔහුගේ නිර්මාණ රසවිඳීමේ කාර්යය ඉහළ රසිකත්වයක් වෙත පාඨකයා ගෙන යෑමක් බව ද සඳහන් කළ යුතු ය. මෙවැනි ගැටලු පැවතිය ද සිය භාෂා මතවාදය වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටිමින් අඩ සියවසකටත් වඩා කාලයක් ලේඛන කාර්යයෙහි නිරත වෙමින් කටයුතු කරලීම පිළිබඳ ඔහුගේ පාඨකයන් වන අප සැම තිලකසේනගේ පරිශ්‍රමයට කෘතඥ විය යුතුම ය.
වයි.ඩී ප්‍රියංක