Tuesday, April 8, 2025
Home » ‘කතාවක්’ නැති ලතාවක අතරමංවීමේ චමත්කාරය

‘කතාවක්’ නැති ලතාවක අතරමංවීමේ චමත්කාරය

by mahesh
January 8, 2025 1:00 am 0 comment

ඔහුට අදහාගත නොහැකි උනා. සුදු ඇඳුමෙන් සැරසිලා – සුදු කොටකලිසමක්, සුදු කමිසයක් – මේ විදියට ඔහු ඈව දැක්කාමයි. එක් අතක ටෙනිස් රැකට් එක. අනික් අතේ රෝල්කරපු සඟරා දෙකතුනක්. ගෙල වටා දාඩිය රැඳුණු පන ගැහෙන යව්වනය.”

මේ තමයි අජිත් තිලකසේනගේ “පස් වසරක්” කෙටි කතා පොතේ තියෙන “වතුර ටැංකිය යට හෙවන” කියන කෙටි කතාවේ ලලිත්ට තමන්ගේම බිරිඳ නීනාව “අලුතෙන්” හමුවන මොහොත. ඒ “අලුත්” නීනා, ඒ කාන්තා රූපය දැකල ඔහු විස්මයට පත් වෙනවා. අහම්බෙන් හමුවෙන්නේ මේ වෙන කවුරුවත් නෙවෙයි. ලලිත්ගේම බිරිඳ. උදේ ගෙදරින් එනකොට තමං බීපු තේ ජොග්ගුවෙන් බාගයක් ලලිත්ට ඉතුරු කරලා පීරිසියකින් වහල තියල ආපු නීනා; චට්නි බෝතලේ වහන්න අමතක වෙලා මේසය උඩ තියල ආපු නීනා. මෙතැනට එන්න කලින් ලලිත් එයාගේ රතු ඉරි කමිසය කිළුටු කූඩෙ ඇතුළේ හෙව්වේ “ඇඳුම්, ස්ක’ට්, බ්ලවුස්, යට ඇඳුම්, හැට්ට, බ්‍රෙසියර – එකින් එක ඇද ඇද”, ඒවා මේ නීනාගෙම තමා.

මේ අහඹු හමුවට කිසි සම්බන්ධයක් නැතුව හෝ මොකක්දෝ සම්බන්ධයක් ඇතුව, ලලිත් එන්න කලින් ලලිත්ගේ ගෙදරට ලොකු අම්මා එනවා. එයාට ලලිත් එක්ක බෙදා ගන්න වැඩිපුර තියෙන්නේ අතීත කතා; පොඩිකාලේ ලලිත්ගේ නළලට උළුකැට කැබැල්ලක් වැටිලා නළල පැළුණු හැටි, උණ රෝගයක් වැළඳුණහම තෙල් මතුරවල තෙල් සාත්තු කරපු හැටි, ඊට පස්සේ ඒකට බෙහෙත් පෙත්තක් ඇවිත් රේඩියෝ එකෙං මහ ජයට ඒකෙ වරුනේ කියපු හැටි, තෙල් මතුරපු මනුස්සයගේ දේවාලේ වැහිලා ගිය හැටි, මී ආච්චි බට පොතු, පං වැඩ කරපු හැටි, ඔය වගේ කතා. ඒ වගේම ඒ දෙන්න ගේ කතා අස්සේ දැවටිලා තියෙනවා ලොකු අම්මට නීනා ගැන තියෙන මොකක්දෝ නුරුස්නාකමක්.

ඒ වගේම මේ අහඹු හමුව සිද්ධ වෙන්නේ ලලිත්, එයාටයි නීනාටයි ඉන්න අලුත් ඇනෙක්ස් එකක් බලන්න ගිහිං එන ගමන්. ගෙයක් කියන්නේ කන, බොන, නිදියන, බහිශ්‍රාවීය කටයුතු කරන පෞද්ගලික අවකාශයක්. ඒක දොර ජනෙල් ගේට්ටුවලින් බාහිර අවකාශයෙන් වෙන් කරගන්න එකට තමයි ගෙයක් කියන්නේ. ඉතිං ලලිත් ගිහිං මේ ඔක්කොම සතුටුදායක විදියට තියෙනවද බලනවා; අහුමුලුත් බලනවා, කොමෝඩ් එක පරීක්ෂා කරනවා, ෆ්ලෂ් කරලා බලනවා, ඔවුන්ගේ දිග සෝපාවයි, වේවැල් පුටු තුනයි තියන්න ඕනැ තැන් සනිටුහන් කරගන්නවා. ඒ විතරක්ය ඇයි ජෝඩු ඇඳ, කණ්නාඩි මේසේ, පුංචි කබඩ් එක ඒවා තියෙන තැනුත් ඔහු හිතේ සටහන් කරගන්නවා. හිතේ තියෙන චිත්‍රෙ විදියට බඩුටික තියාගෙන “ගෙදර” හදා ගත්තට පස්සේ ලලිත්ටයි නීනාටයි කාලා, බීලා, නාල, ටොයිලට් ගිහිං, රමණය කරලා, නිදාගෙන ඉන්නයි තියෙන්නේ.

ඒ “ගෙදර” ජනෙල් පියන් ඇරියාම පේන්නේ ලලිත්ටයි නීනාටයි වෙන්කර ගත්ත අවකාශයෙන් “පිටත” ලෝකය:

“මහ පාරේ එක පසෙක උඩට නැඟුණු බිල්බෝඩ්, ඉඩම් වෙන්දේසි දැනුම් දෙන බැනරවල පසුපැති, සිනමා කටවුට්වල උඩු කොටස්, සහ පටු මඟ දිගට වූ කොට්ටම් ගස් පෙළේ කුරුලු වර්චස් නිසාවෙන් සුදු ඉරි ඇඳී පාට වෙනස්වෙවී පෙනෙන පත්‍ර…

කොන්ක්‍රීට් වහලයක් උඩ රෙදි වැලක්. ඉන් ඔබ්බේ…උසට නැඟී ටෙලිෆෝන් කුලුනක්. ගස් මණ්ඩිය පුරාවට අඳුරු පැහැ දුහුලකින් වගේ වැසී ගොස් තැනින් තැන එළිය කොටස් පැල්ලම් ගැහී…”

කොහොමත් මේ “‍ෙගදර” සහ ඉන් “පිටත” කියන දෙකම අර ලොකු අම්මා කතා කරපු ගෙදරවත්, ඉන් පිටත වත් නම් නෙවෙයි. ගහ කොළ පවා නාගරික පාටින් නැවත පාට කරලා. ඒ පරිසරයට ඇදහැළෙන්නේ තිලකසේන වෙනත් කෙටි කතාවක කියන විදියේ “දූවිලි ගැහිච්ච ජරා නගර වැස්ස” වෙන්න ඕන.

ලලිත් ගේ බලල එන කොට නීනා අහම්බෙන් හමුවෙන්නේ වතුර ටැංකිය ළඟදී. නීනා පොත් සාප්පුව ළඟ බස්සවල අමන්දා ගිහිං කොණ්ඩෙ කපා ගෙන එන්ඩ. නීනාට කියල ඈ නැවත එනකං ඉන්ඩ කියල වතුර ටැංකිය යට හෙවණේ. එතැනට යන අතරමග තමයි ලලිත්ට අහම්බෙන් නීනා හමුවෙන්නේ.

මේ “අලුතින්” හමුවුණු නීනා එක්ක ලලිත්ගේ කතා බහ. ඒක සිග්සැග් කතාබහක්. නීනා අමන්දා ගැන කියනවා; ලලිත් ලොකු අම්මා ගැන කියනවා. නීනා කහකුරුල්ලෙක් පෙන්නනවා; ලලිත් ඇනෙක්ස් එක ගැන කියනවා. ලලිත් ඇනෙක්ස් එක ගැන පොසිටිව් දේවල් කියනවා; නීනා ඒක ගැන නෙගටිව් දේවල් කියනවා. මොකද, නීනාත් ලලිත්ට කලින් ගිහිං ඒක බලලයි ඇවිත් තියෙන්නේ.

ලලිත් කියනවා, “බිම ටයිල් කරල. ටොයිලට් එක ඉඩ කඩ තියෙනව… කොමඩ් එක බැලුවා. හොඳට ෆ්ලෂ් වෙනව. බිඩේ එක වැඩ කරනවා. සිංක්එක අලුත්.”; නීනා කියනවා, “බිත්තිවල කිළුටු පාටක්….අළු පුහුල් වගේ.” දැන් ලලිත් සැලසුම් කරපු එයා ගෙයි නීනා ගෙයි කන, බොන, නිදන, රමණය කරන, බහිශ්‍රාවය කරන අවකාශය නීනාගේ අවකාශය නෙවෙයි.

“එක කාමරයයි තියෙන්නෙත්”

“ඉතිං අපි දෙන්නනෙ!”

“ලලිත්, අමන්දා හදිසියෙ ආවොත්… රැයක් ඉන්ඩ හැදුවොත්… කාමරයක් දෙන්ඩ වෙනව නේද?

“ලලිත් අප්‍රාණිකව ගියා. ශරීරයේ කොතන හ‍රි දැවී අලුවී යන්න පටන් ගත්තා වගේ දැනුනත් එක්ක ඔහු එහෙම්ම එතන සිමෙන්ති බැම්මේ ඉඳ ගත්තා.”

මේ දැන් එකිනෙකා හමුවන්නේ, සැමියෙක් සහ බිරිඳක්ද, ග්‍ර හලෝක දෙකකින් පැමිණි ජීවීන් දෙදෙනෙක්ද, කන-බොන-නිදන අවකාශයක් විදියට “ගෙදර” ඕන කෙනෙක් සහ ඉන්ටිමසි අවකාශයක් විදියට “ගෙදර” ඕන කෙනෙක්ද, “භාෂා” දෙකක් කතා කරන දෙන්නෙක්ද, භාෂාවේ ජීවත්වෙන කෙනෙක් සහ භාෂාවේ ඉන්න අතරම නොඉන්නත් පුළුවන් කෙනෙක්ද, පැවැත්මක් සහ නො-පැවැත්මක්ද, සමස්තය නියෝජනය කරන්නෙක් සහ සමස්තයද, එහෙමත්නැත්නම් මේක සරල ලෙස්බියන් ප්‍රේම පළහිලව්වක්ද ………………………..?????????

ඇත්තටම ලලිත් හදාගත්ත “ගෙය” ද බිඳවැටෙන්නේ? නැත්නම් “භාෂාව” කියන ගෙය ඇතුළේ තියෙන ලලිත් කියන මනුස්සයාගේ පැවැත්මද තර්ජනයට ලක්වෙන්නේ? එහෙමත් නැත්නම්, ලලිත්, නීනා (ස්ත්‍රිය) කියල තමන්ගේ අර්ථ වපසරිය ඇතුළේ රාමු කරලා තියාගෙන හිටපු නීනා (ස්ත්‍රිය) නොවන නීනා (ස්ත්‍රිය) ද ඔහුට මේ ක්ෂතියක් විදියට හමුවෙන්නෙ? ඒ නිසාද ලලිත් අතීතයට (අතීත අර්ථලෝකයට) යොමුවෙමින් නීනා කියල හදාගත්ත රාමුව හොයන්නේ?

“මම හිතන්නේ… මම ඔයාව ඉස්සෙල්ලාම දැක්කේ සුපර් මාකට් එකේ…බියුටි සලෝං එකේ පැද්දෙන දොරගාව”

“නැත්තං ඔයාගෙ ඔෆීස්එක තියෙන තට්ටු ගොඩනැගිල්ලේ බිම්මාලෙ. ඔයා ලිෆ්ට් එක ගන්ඩ බොත්තම ඔබල රතු ඊතලේ දිහා බලාගෙන ඉන්න කොට.”

ඒ රාමුවේ නීනා ඉන්නවද? නැද්ද? රාමුව ඇතුළෙන් ලලිත් දැකල තියෙන්නේ නීනා (ස්ත්‍රිය) නොවන ලලිත්ම හදාගනිපු නීනා කෙනෙක් (ස්ත්‍රියක්) ද? නීනා කරලා තියෙන්නේ ලලිත් හදාගනිපු නීනා කියන රාමුව ඇතුළේ රංගනයක්ද?දැන් මේ ඔහු ඉදිරිපිට ඉන්නේ ඇය නොවන ඇයද?

“නැතුව කුඹුරෙ නියරක් උඩ හරි තොටුපළක එගොඩ මෙගොඩ වෙන කොට හරිනෙ මේනෙ!”

ලලිත් දන්නේ ඔහු “දැනසිටි” නීනා ගැනම විතරයි. ඒ හැරෙන්න නීනා කෙනෙක් නැහැ. ඉතිං ඔහු ආපහු හැරෙන්නේ තමං දන්න නීනා වෙත.

“මතකද නීනා, ලිෆ්ට්එකේදි මම ඔයාගේ ඇඟිලි තුඩු යන්තමින් අල්ලපු වෙලේ ඔයා මගේ අත ගසා දැම්ම.”

මේ දැන් ඔහු ඉදිරිපිට ඉන්න නීනා ඒ නීනාම නෙවෙයි.

“නීනා පාරේ ඈත මෑත බලමින්, ආයේ සද්දයකට කන් දෙමින් සිට බිම බැලුවා.”

ලලිත් දිගටම කතාව තමන්ගේ නීනා (ස්ත්‍රිය) එක්ක:

“ඒත් මට දැනුන…මම පතාගන ආපු තැනට එන්ඩ පුළුවං … සත්තකිංම පුළුවං විත්තිය.”

කොච්චර දැල් ගැහුවත්, කොච්චර අර්ථයකට ගේන්න හැදුවත්, මේ දැන් මේ ඉන්න නීනා, ඒ දැල් ගැහිල්ලට අහුවෙන්නේ නැහැ:

“නීනා යටි තොලේ කොනක් හපන්න පටන් ගත්තා.”

ලලිත්ට මේ “යටි තොලේ කොනක් හපන” නීනාව තේරෙන්නේ නැහැ. ඔහු දන්නේ, ඔහු දන්නා නීනා විතරයි. ඔහු දිගටම කතා කරන්නේ තමංම හදාගත්තු තමං දන්න නීනා එක්ක:

“අපි වැලි පාරේ ගල් අල්ලපු තීරුව දිගේ යන කොට … මූද අතට… අන්න එතකොට තමා ඉස්සෙල්ලම මට ඔයාගේ සුවඳ දැනුනෙ… පස්සෙ ඒ සුවඳමනෙ මගෙ ඇඟේ ඇලුනේ.”

ලලිත් ඒ කියන්නේ ලලිත්ගෙ නීනා ගැන; මේ නීනා ඒ නීනා නෙවෙයි:

“පාර දෙසින් බ්‍රේක් හඬක් නැඟුනා.

‘අමන්දා!’ නීනා උද්දාමයෙන් නැගිට්ටා.”

නීනා අමන්දගේ කාරෙකේ නැඟල එයා එක්ක ටෙනිස් ගහන්න යනවා. ඒ යන ගමන් ලලිත්ට කියාගෙන යනවා ලොකු අම්මත් ඉන්න නිසා සැමන් ටින් එකකුත් අරගෙන එන්න කියල. අමන්දා කාර්එකේ වීදුරුව ඇරලා, ලලිත්ට හිනාවෙලා, අත වනලා යනවා. ලලිතුත් එයාට අත ඔසවා ප්‍රතිචාර දක්වනවා. එයාල යන කාරෙක කන්ටේනර් ලොරියකට මුවාවෙලා නොපෙනී යනවා ලලිත් දකිනවා. ලලිත් එතන ඉන්නකොට වයසක මනුස්සයෙක් ලලිත්ගෙන් මෙහෙම අහනවා:

“මහත්තය හොයන්නේ මාළු කඩේ ද නැත්තං බස් ඉස්ටෑන්ඩ් එකද?”

“නැහැ…ආආ… ඔව්.” එහෙම කියල, “ලලිත් උමං මාරුව ඔස්සේ සුපිරි වෙ‍ෙළඳ සංකීර්ණය දෙසට ඉක්මනින් පියවර නගන්න පටන් ගත්තා.” ඒ නීනා උදේ දීපු බඩු ලයිස්තුවයි, දැන් කියපු සැමන් ටින් එකයි ගන්න. උදේ දීපු බඩු ලැයිස්තුවට දැන් නීනා කියපු සැමන් ටින් එකත් එකතු උනාම ලලිත්ට ආයිමත් තමාගේ නීනා හදා ගන්න පුළුවන් වෙයි; බඩු ලැයිස්තුවටයි, සැමන් ටින් එකටයි පින්සිද්ද වෙන්න. එතකොට, අමන්දා එක්ක ටෙනිස් ගහල ඇවිත්, රෑට ලොකු අම්මට සැමන් එක්ක රෑ කෑම හදල දෙන්නේ මොන නීනාද?

ආචාර්ය දර්ශන ලියනගේ 
ඡායාරූපය – සරත් පෙරේරා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT