Home » හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම වරට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වේ

හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම වරට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වේ

by yasara
January 7, 2025 4:04 pm 0 comment

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඊයේ (06), එහි අභිනව සභාපති  ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල විධිවිධාන ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විපක්ෂය නියෝජනය කරමින් කාරක සභා සභාපතිධූරයට, තේරීම් කාරක සභාව විසින් පත්කරගන්නා ලදි.

සභාපතිවරයා විසින් කාරක සභාවේ ඉදිරි වැඩකටයුතු සහ කාර්යයන් පිළිබඳව මෙන්ම පසුගිය කාරක සභා ක්‍රියාකාරකම් පිළිබඳව කාරක සභා සාමාජිකයින් දැනුවත් කරන ලද අතර සාමාජිකයින් ද විවෘත සාකච්ඡාවකට සම්බන්ධ කරගන්නා ලදි.

ඉන්පසු මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු අමාත්‍යංශය නිලධාරීන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් 2024 වසර මැද මුල්‍ය තත්වය පිළිබඳ  වාර්තාව (Mid Year Fiscal Position Report 2024) මෙන්ම මෑතකදී සිදුවී ඇති ආර්ථික වර්ධන තත්වයන් පිළිබඳව කරුණු කාරක සභාවට ඉදිරිපත් කරන ලදී.  සලකා බැලීමෙන් අනතුරුව, 2024 වසර මැද මුල්‍ය තත්වය පිළිබඳ  වාර්තාවට කාරක සභාවේ අනුමතිය හිමිවිය.

එසේම කාරක සභාව විසින් LMD වසරේ ශ්‍රී ලාංකිකයා ලෙස සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට සුභාශිංසන එක් කළ අතර රටේ ආර්ථික ස්ථායිතාවය වෙනුවෙන් ඔහුගේ සහ නිලධාරීන්ගේ කැපවීම ද මෙහිදී ඇගයීමට ලක්විය.

තවද ජාතික විගණන කාර්යාලයේ 2025 සඳහා වන වාර්ෂික වැඩසටහන් යෝජනාවලිය ද මෙම කමිටුවේදී සාකච්ඡාවට ලක් කරන ලද අතර එය සංශෝධනවලට යටත්ව ඊට අදාළ අනුමතිය හිමි විය.

මෙම රැස්වීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරුන් වන  ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම,  චතුරංග අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක,  හර්ෂණ රාජකරුණා,  ෂානක්කියන් රාසමානික්කම්,  ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න,  අක්‍රම් ඉල්ලියාස්,  නිමල් පලිහේන,  විජේසිරි බස්නායක,  තිළිණ සමරකෝන් සහ  නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු ද පාර්ලිමේන්තුවේ සහකාර ලේකම් හංස අබේරත්න මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT