මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්ත ක්ෂේත්‍රය ආශ්‍රිතව ඇතිවන ගැටලු හා පැමිණිලි කඩිනමින් විසඳීම අරමුණු කරගනිමින් රජයේ “Clean Sri Lanka” ව්‍යාපෘතියට සමගාමීව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් ක්ෂණික දුරකථන අංකයක් (Hotline) හඳුන්වාදී තිබේ.
මේ අනුව 0112 336552 දුරකථන අංකය ඔස්සේ අධිකාරියේ මහජන සම්බන්ධතා නිලධාරී වෙත සෘජුවම තම ගැටලු හා පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙන අතර සති 2 ක් වැනි කෙටි කාලයක් තුළ අදාල පාර්ශ්වයන් සම්බන්ධ කර ගනිමින් ඉදිරිපත් වන ගැටළු කඩිනමින් විසඳා දීමට අධිකාරිය බලාපොරොත්තු වන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරියාරච්චි මහතා පැවසීය.
එසේම ශ්‍රී ලංකාවේ මේ වන විට ක්‍රියාත්මක වන අස්ථාවර හා අවිධිමත් බදු ප්‍රතිපත්ති ඇතුළුව පවතින ගැටලු රැසක් හේතුවෙන් මෙම වටිනා ක්ෂේත්‍රය විශාල පසුබෑමකට ලක්ව ඇති බව පැවසූ සභාපතිවරයා අප රටේ හමුවන මැණික් සඳහා ජාත්‍යන්තරයේ ඇති ඉහළ ඉල්ලුම සලකා බලමින් ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ජාත්‍යන්තරයේ වඩාත් ප්‍රචලිත කිරීම අරමුණු කර ගනිමින් ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සැලසුම් කර ඇති බවද පැවසීය.
මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනාගාර හා අලෙවිසැල්, මැණික් කෞතුකාගාර, මැණික් හා ස්වර්ණාභරණ වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය රසායනාගාර සේවාවන්, භාණ්ඩ ප්‍රවාහන සේවාවන්, අපනයන කටයුතු සඳහා පහසුකම් සපයන මධ්‍යස්ථානයක් ඇතුළු සියලුම පහසුකම් වලින් මෙම මෙම ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ මධ්‍යස්ථානය සමන්විත වන බව පැවසූ නවීන් සූරියාරච්චි මහතා මේ තුළින් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භාණ්ඩ 3 අතරට රැගෙන ඒමටත් ඒ හරහා වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 3 ක අපනයන ආදායමක් ජාතික ආර්ථිකයට එකතු කිරීම ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අරමුණ බව පැවසීය.