රට හැර යන ෆ්ලයිට් එක වෙනුවට දුම්රිය නඟාසිටුවමින් රට ගොඩනැගීමේ ෆයිට් එකට එක් වන්නැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක මහතා ඊයේ (06) ශ්‍රී ලංකා දුම්රිය ආරක්ෂක සේවයේ දුම්රිය ආරක්ෂක (පිරිමි) පත්වීම් ලාභීන්ගෙන් ඉල්ලා සිටියේය. රට දුප්පත් වෙද්දී රට හැර ගිය බොහෝ පිරිසක් මේ වන විට රටට පැමිණීමට කැමැත්තෙන් සිටිනවා යැයිද ඇමැතිවරයා කියා සිටියේය.
රැකියා ප්රශ්නයේදී රාජ්‍ය අංශය ශක්තිමත් කිරීම, කාර්යක්ෂම කිරීම, සේවා උපරිම ඉහළ මට්ටමකට ගෙන ඒම නව රජයේ අපේක්ෂාව බව ද හෙතෙම කියා සිටියේය.
ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ ශ්‍රී ලංකා දුම්රිය ආරක්ෂක සේවයේ දුම්රිය ආරක්ෂක (පිරිමි) පත්වීම්ලාභීන්ට පත්වීම් ලිපි ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.
එහිදී 2019 වසරේදී විභාග දෙපාර්තමේන්තුව විසින් පැවැත්වූ විභාගයකින් ඉහළම ලකුණු ලබාගත් තෝරා ගත් දුම්රිය ආරක්ෂක නිලධාරීන් 178 දෙනෙකු සඳහා නව පත්වීම් ලිපි පිරිනැමීම සිදු කෙරිණි.
මෙහිදි පළමු පත්වීම සනිටුහන් කරමින් කේ.ඒ.ඩී. සේනාරත්න මහතා ඇමැතිවරයා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
කැබිනට් පත්‍රිකාවක් අනුව මේ පිරිසට නව පත්වීම් ප්රදානය කිරීම සිදු කෙරුණු අතර මේ අවස්ථාවට නව පත්වීම්ලාභීන් 100 දෙනෙකු එක්ව සිටියහ.
ඇමැතිවරයා එහිදී මෙසේද පැවැසීය. මේ පත්වීම් ලබන්නේ 2019 විභාග දෙපාර්තමේන්තුවේ විභාගයෙන් සමත් පිරිසක්. මින් 369ක් ඉහළ ලකුණු ලබා තිබුණා. සිංහල අයැදුම්කරුවන් 8819ක් සහ දමිළ අයැදුම්කරුවන් 2089ක් ඊට ඉදිරිපත්ව සිටියා. 2019 දෙසැම්බර් 29 වැනි දින පැවැත්වූ තරග විභාගයෙන් සමත් වූ 369ක් ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු මේ දුම්රිය ආරක්ෂක නිලධාරීන් 178 දෙනා තෝරා ගනු ලැබුවා. පුරප්පාඩු පිරිවීමේ අවශ්‍යතාව මත මේ බඳවා ගැනීම් සිදු කළා. පැරණි කීර්තිමත් දෙපාර්තමේන්තුවක පත්වීම් නව වසරේ ලබන්න ලැබීම විශේෂ අවස්ථාවක්. අලුත් අවුරුදු තෑග්ගක්. මේ අයට වසර 30ක්වත් රේල්ලුවේ සේවාව කරන්න ලැබෙනවා. ආදරයෙන් සතුටින් රැකියාව කරන්න ඕනෑ. වැටුප් මදිකම අඩුපාඩු මොනවා තිබුණත් සතුටින් රැකියාව කරන්න. රාජ්‍ය අංශය දුර්වල කිරීමේ අරමුණින් සේවකයන් පුරවන්න අපි කටයුතු කරන්නේ නැහැ. දුම්රිය දෙපාර්තමේන්තුව පරමීඩයක් ලෙස ගත් විට ඉංජිනේරුවන්, තාක්ෂණ ශිල්පීන්, රියැදුරන් ඇතුළු විශේෂ සේවාවල අඩුවක් තිබෙනවා. මම කන්කසන්තුරය දුම්රිය අංගණයට ගිය දිනක මා දුටුවා එහි සේවකයන් විශාල වෙහෙසක් දරමින් එහි කටයුතු කරනවා. සොයා බලන විට දැනගත්තා ඔවුන් කළුතර පදිංචිකරුවන් බව. ඒ අය කළුතර වුණේ ඇයි කියා දන්නවා. කළුතර, බදුල්ල, මොනරාගල පදිංචිකරුවන් විශාල වශයෙන් ඈත පළාත්වල සේවය කරනවා. රැකියාව ලැබෙනවා නම් ඔවුන් ඕනෑම තැනකට යෑමට සූදානම් . අවුරුදු 40ක් 50ක් රට පාලනය කළ අය සියලු තැන්වලට විශාල සේවකයන් පිරිසන් පිරෙව්වා. ඇතැම් පත්වීම් නිසා පාලනය කරන්නත් අමාරුයි. සෞඛ්‍ය මේ අංශයේ මේ ගැටලුව තිබෙනවා. විනාශ වුණේ නැහැ විනාශ කළා.
කීර්තිමත් දෙපාර්තමේන්තුවක් වන දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විට අභියෝග රැසකට මුහුණ දී සිටිනවා. දුම්රිය එන්ජින් ගැටලුවට විසඳුම් ලබාදීමටත් ජනවාරි 31 වැනිදාට පෙර එන්ජින් දහයක් ප්‍රතිසංස්කරණය කර දෙන බවට දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික අංශයේ නිශාන්ත මහතා පොරොන්දු වී තිබෙනවා. තාක්ෂණික අංශයට බඳවා ගැනීම් කරන්නත් අනුමැතිය ලැබී තිබෙනවා. මේ ආයතනවල කඩා වැටීම්වලට ප්‍රසිද්ධ නම් තුන හතරක් මත පටවන්න බැහැ. එහි අපිත් කොටස්කරුවන්. රියදුරු වැඩ තහනම් කළාට පාඩුව පියවන්න බැහැ. රියදුරු වසර 500ක් සේවා කළත් එහි පාඩුව පියවීම අසීරුයි. මේ අපේ රට දුප්පත්. අලුතින් හිතන්න. අපි මේවා ගොඩනඟන්න ඕනෑ. දැන්වත් ජියර් එක මාරු කරන්න. ප්ලෑන් කරන්න. මුල සිට අගට කල්පනා කර නැවත මේ සේවා ගොඩගන්න වැඩ කරන්න යැයි ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල පී. පෙරේරා මහතා ද මෙහිදී අදහස් දැක්වීය. දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර, අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එල්.එච්. තිලකරත්න, අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි පරිපාලන කුසලානි ද සිල්වා, පොල්වත්තගේ, වෘත්තීය සමිති ලේකම් විතාන මහත්ම මහත්මීන් ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින්, පත්වීම්ලාභින් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
සුභාෂිණී සේනානායක සහ තරුෂි අධිකාරි
ඡායාරූප – සුදත් මලවීර