Home » ‘ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන’ උලෙළ අද

‘ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන’ උලෙළ අද

-මාධ්‍ය විශිෂ්ටයන් 5කට සම්මාන

by sachintha
January 7, 2025 1:39 am 0 comment

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් සඳහා සම්මාන පිරිනමන Òජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළ – 2023Ó උත්කර්ෂවත් ලෙස ගල්කිස්ස මහ හෝටලයේදී අද (07) පැවැත්වේ.

ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ඒකාබද්ධව සංවිධානය කරන මෙම සම්මාන උලෙළ ජනමාධ්‍යයේ වෘත්තීය ප්‍රවීණත්වය හඳුනා ගැනීම සහ එහි විශිෂ්ටත්වයට පත්වූවන් අගය කිරීම සඳහා පැවැත්වෙන අතර මෙවර සම්මාන උලෙළේදී වර්ගීකරණයන් 18ක් වෙනුවෙන් සම්මාන පිරිනැමේ.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් සේවයේ නිරතව සිටින ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් පස්දෙනෙකුට ජීවිතයේ එක්වරක් පමණක් පිරිනමන Òදීර්ඝ සේවා සම්මානÓ පිරිනැමීම මෙහිදී විශේෂත්වයක් වන අතර මෙරට මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ බෙනට් රූපසිංහ, එම්.එන්. අමීන්, චන්ද්‍රිකා විජේසුන්දර, සැනීටා කරීම් සහ එස්. යෝගමූර්ති යන ප්‍රවීණයන් මෙම උත්සවයේ දී ඇගැයීමට ලක්වෙති.

වසරේ හොදම නිර්මාණශීලී පුවත්පත, හොඳම කාටුන් ශිල්පියා, වසරේ හොඳම ඡායාරූප ශිල්පී මාධ්‍යවේදියා, වසරේ හොඳම පරිසර වාර්තාකරණය, වසරේ හොඳම සමාජ සිදුවීම වාර්තාකරණය, වසරේ හොඳම ස්කූප් සම්මානය, වසරේ හොඳම ක්‍රීඩා මාධ්‍යවේදීයා, වසරේ හොඳම විශේෂාංග රචනය ඇතුළු සම්මාන රැසක් පිරිනැමීමට නියමිතව තිබේ. ඊට අමතරව ප්‍රධාන සම්මාන අතර බී.ඒ. සිරිවර්ධන වසරේ හොඳම තීරු ලිපි රචකයා, වසරේ හොඳම විශේෂාංග රචකයා සඳහා උපාලි විජේවර්ධන සම්මානය, විශේෂ වාතාවරණයක් යටතේ වාර්තා කරණය සඳහා වූ මහාචාර්ය කේ. කෛයිලාසපති සම්මානය, හොඳම මූල්‍ය හා ව්‍යාපාර කටයුතු පිළිබඳ මධ්‍යවේදියා, වසරේ හොඳම සමාජ සංවර්ධන වාර්තාකරණය සඳහා වූ සුබ්‍රමනියම් චෙට්ටියාර් සම්මානය, වසරේ හොඳම ගවේෂණශීලී මාධ්‍යවේදියා, ශ්‍රී ලංකාවේ පුවත්පත් නිදහස ආරක්ෂා කිරීම සඳහා වූ සේපාල ගුණසේන සම්මානය, මහජනයාගේ සහ සහෘදයන්ගේ ඇගැයුමට ලක්වීම සඳහා වූ ඩී. ආර්. විජයවර්ධන සම්මානය, වසරේ හොඳම තරුණ මාධ්‍යවේදියාට පිරිනැමෙන ඩෙන්සිල් පීරිස් සම්මාන ත්‍යාගය, වසරේ හොඳම ජනමාධ්‍යවේදියාට පිදෙන මර්වින් ද සිල්වා සම්මානය මෙන්ම හොඳම වෙබ් අඩවි නිර්මාණ සැලසුම සඳහා ද සම්මාන පිරිනැමේ.

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ හිටපු පීඨාධිපතිනී මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර මහත්මිය මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්වන අතර මෙහි දී 2023 වසරේදී සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම ජාතික පුවත්පත්වල පළවූ පුවත් සහ විශේෂාංග ඇතුළු කරුණු පදනම් කරගෙන විවිධ අංශ සඳහා සම්මාන 51ක් පිරිනැමීමට නියමිතයි.

මෙවර සම්මාන උලෙළ 25 වැනි වරට සංවිධානය කරන අතර ශ්‍රී ලංකා කර්තෘ සංසදය විසින් 1999 වසරේදී ආරම්භ කළ මෙම සම්මාන උලෙළ මෙරට විශාලතම ජනමාධ්‍ය සම්මාන උලෙළ වෙයි. ශ්‍රී ලංකා කර්තෘ සංසදය මඟින් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය හා ඊට සම්බන්ධ වෘත්තීය සමිති, ශ්‍රී ලංකා පුවත්පත් සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය යන සංගම්වල සහයෝගය ඇතිව ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළ සංවිධාන කරයි.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT