Home » උතුරු මැද 11 ශ්‍රේණියේ සිංහල පේපරේ වට්ස්ඇප් ගෘෘප්වල

උතුරු මැද 11 ශ්‍රේණියේ සිංහල පේපරේ වට්ස්ඇප් ගෘෘප්වල

-විභාගය අත්හිටුවයි

by sachintha
January 7, 2025 1:38 am 0 comment

තලාව සමූහ – බී. ඩබ්.ඩී. ධර්මකීර්ති, අනුරාධපුර සංචාරක බී.ජී. චතුරංග, අනුරාධපුර අතිරේක – අමිල ප්‍රභාත් වනසිංහ සහ සිරිපුර – මදුශානි අබේසිංහ

උතුරු මැද පළාතේ පාසල්වල ඊයේ (06) පැවැත්වීමට නියමිත අවසාන වාර පරීක්ෂණයේ 11 ශ්‍රේණියේ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරුවීමත් සමඟ එම විභාගය පැවැත්වීම තාවකාලිනව නතර කරන ලෙස පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ඊයේ (06) දැනුම් දී තිබේ.

එම විෂය නැවත පැවැත්වීම ලබන 20 දින සිදු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස උතුරු මැද පළාත් ප්‍රධාන සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත.

එමෙන්ම පාසල් වෙත යොමු කර තිබෙන 11 ශ්‍රේණියට අදාළ සිංහල ප්‍රශ්න පත්‍ර කට්ටල විවෘත කිරීමකින් තොරව ඊයේ (06) පෙරවරු නවයට පෙර නැවත අධ්‍යාපන කොට්ඨාස කාර්යාල වෙත ලබා දීමට අවශ්‍ය කටයුතු කරන ලෙසද විදුහල්පතිවරුන්ට දන්වා තිබේ.

මේ ප්‍රශ්න පත්‍රය පෙරේදා (5දා) ‘වට්ස්ඇප් සමූහ හරහා හුවමාරු වූ අතර ඉන් අනතුරුව පළාතේ අධ්‍යාපන බලධාරින් වෙත විවිධ පාර්ශ්වයන් කළ පැමිණිලි අනුව කරුණු සොයා බලා ඒ තත්ත්වය මත වාර විභාගය පැවැත්වීම අවලංගු කළ බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා දන්වා සිටියි.

කොට්ඨාස කාර්යාල වෙත ප්‍රශ්න පත්‍ර කට්ටල භාර ගැනීමේදී එම කට්ටල විවෘත කළ විදුහල සොයා ගැනීමට හැකිවන එක් අවස්ථාවක් වේ. එමෙන්ම ප්‍රශ්න පත්‍රය පිටවූයේ කෙලෙසද යන්න පිළිබඳ පුළුල් විමර්ශනයක් පැවැත්වීමටද තීරණය කර ඇත.

මෙම ප්‍ර‍ශ්න පත්‍රය ඉකුත් 05 වැනිදා සමාජ මාධ්‍යවල හුවමාරු වී ඇති බවට පැමිණිලි ලැබීමෙන් අනතුරුව එම ප්‍රශ්න පත්‍රය කිසියම් පාසලකින් පිටව ඇති බවටද මෙහි දී අනාවරණය වී තිබේ.

ඒ හේතුවෙන් 06 වෙනි දින පැවැත්වීමට නියමිතව තිබූ 11 ශ්‍රේණිය සිංහල ප්‍රශ්න පත්‍රයේ 1/11/111 කොටස් නොපවත්වන ලෙස පළාත් අධ්‍යාපන ලේකම්තුමා උතුරු මැද පළාතේ සියලු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට මෙන්ම විදුහල්පතිවරුන්ට දන්වා ඇත.

මේ පිළිබඳ කඩිනමින් කොට්ඨාසයේ සියලුම විදුහල්පතිවරුන් දැනුම්වත් කරමින් 11 ශ්‍රේණිය සිංහල ප්‍රශ්න පත්‍රය නොපැවැත්වීමටත්, පාසල් වෙත ලබා දී ඇති 11 ශ්‍රේණිය සිංහල ප්‍රශ්න පත්‍ර පැකට් සියල්ල 06 වෙනිදා පෙරවරු 9.00 ට පෙර නැවත කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙත ගෙන්වා ගැනීමටත් කටයුතු කරන ලෙසද පළාත් අධ්‍යාපන ලේකම්වරයා අධ්‍යක්ෂවරුන්ට මෙන්ම විදුහල්පතිවරුන්ට දැනුම්දීමක් කර තිබේ.

මෙම සිද්ධියත් සමඟ උතුරු මැද පළාතේ කලාප 8කට අයත්, කොට්ඨාස තිහක පාසල් 600කට අධික ප්‍රමාණයක සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය බෙදා හැරීම නවත්වාගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.

මේ අතර, මේ සම්බන්ධයෙන් මවුපියන්ගෙන් සහ ලංකා ගුරු සේවා සංගමයෙන් අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට ඊයේ (06) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මෙම ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙන් ඊයේ (06) දිනයට පැවැත්වීමට නියමිතව තිබූ 11 ශ්‍රේණිය සිංහල විභාගය අත්හිටවීමට තීරණය කර ඇති අතර දිගින් දිගටම අධ්‍යාපනය සම්බන්ධයෙන් උතුරු මැද පළාතේ සිදුවන අක්‍රමිකතා පිළිබඳ බලධාරින් මුනිවත රකින බවත්, පවතින රජය අපහසුතාවට පත් කරන මෙවැනි පුද්ගලයන් පිළිබඳ නීතිය දැඩිව ක්‍රියා කරන ලෙස අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාල වෙත පැමිණිල්ලක් මේ අනුව යොමු කළ බව ලංකා ගුරු සේවා සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් අසේල විජේසිංහ මහතා සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT