විදේශ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ තිහක මුදලක් ලබා ගෙන එකී මුදල වංචා කළැයි කියන හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් සිලණී පෙරේරා මහත්මිය එම සැකකරු ලබන 17 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඊයේ (06) නියෝග කළාය. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ගාල්ල වංචාවල ප්‍රදේශයේ තිසර නානායක්කාර නැමැත්තාය. මෙම සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවක් වෙනුවෙන් රැගෙන ගොස් තිබූ බැවින් මෙදින මෙම අධිකරණය හමුවේ ඉදිරිපත් නොකරන බව බන්ධනාගාරය අධිකරණයට දැනුම් දුන්නේය.
මෙහිදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේ, සැකකරුට එරෙහිව මේ වන විට පින්ලන්තය, ඔස්ට්‍රේලියාව, ඊශ්‍රායලය, තුර්කිය යනාදී රටවල රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයකින් තිස්පස්දෙනකුගෙන් මුදල් ලබාගෙන රුපියල් හයකෝටි පනස්ලක්ෂයකට අධික මුදලක් වංචා කර ඇති බවටය.
මෙම සැකකරු විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොකළ රැකියා ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඒ සඳහා හිටපු අමාත්‍යවරයකු වන මනූෂ නානායක්කාර මහතාගේ පාර්ලිමේන්තු ලේකම් ලෙස භාවිත කළ හැඳුනුම්පතක්ද භාවිත කොට ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
තවද සැකකරු එම මුදල්වලින් ලබාගත් මෝටර් රථයක් නඩු භාණ්ඩයක් ලෙස භාරයට ගෙන ඇති බවත් එය අධිකරණයට ඉදිරිපත් කරන බවත් එම නිලධාරියා අධිකරණයට දැනුම් කරුණු සඳහන් කළේය. සැකකරු ඉදිරිපත්ව ඇති පැමිණිලි සම්බන්ධයෙන් ගාල්ල, පානදුර හා මාතර අධිකරණවලට ඉදිරිපත් කිරීමට දින නියම කරන ලෙසද එම නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව ජනවාරි මස දහවෙනි දින සැකකරුව පානදුර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාරයට නියම කළාය.
මෙහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශ්මිත දේවේන්ද්‍ර මහතා පැවසුවේ යක්කල ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් ලබාගෙන ඇති මිලියන තුනක මුදලට අදාළව තම සේවාදායකයාට ඇප ලබාදීමට මෙම අධිකරණයට හැකි බැවින් ඕනෑම කොන්දේසියක් මත ඇප ලබාදෙන ලෙසය.
මෙම අධිකරණ බල ප්‍රදේශයේ සිදුව ඇති මෙකී මුදල් ලබා ගැනීම පිළිබඳ නඩුව සම්බන්ධයෙන් අධිකරණයට ඕනෑම කොන්දේසියක් මත තම සේවාදායකයා ඇප මත මුදා හරින ලෙසද නීතිඥවරයා ඉල්ලීමක් කර සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දක්වා සිටි මුදල් විශුද්ධිකරණ පනතට අදාළ කිසිදු සිදුවීමක් තම සේවාදායකයා විසින් සිදු කර නොමැති බව ද නීතිඥවරයා පවසා සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයසුන්දර, උප පොලිස් පරීක්ෂක ලසිත පෙරේරා යන නිලධාරීහු පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූහ.
ගම්පහ අධිකරණ