ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව මහ මාර්ග රියැදුරු විනය සකස් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් ආරම්භ කර ඇති වැඩසටහන යටතේ සති දෙකක කාලයක් රියැදුරන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන පෙරේදා (04) ආරම්භ කෙරුණු අතර එය ලබන 19 වෙනිදා දක්වා පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය. මෙම දැනුම්වත් කිරීම් මඟින් අපේක්ෂා කරනු ලබන්නේ මහ මඟ විනයක් ඇති කර ඒ තුළින් රිය අනතුරු අවම කර ගැනීමත් රථවාහන තදබදය අවම කර ගැනීමත් බව ද බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.
මෙහි දී පළමු මෙහෙයුම මඟින් මගීන්ට මෙන්ම පරිසරයටද ඝෝෂාකාරී වන ලෙස රථවාහනවල සවිකර ඇති විවිධ නාද රටා, විවිධ වර්ණ සහිත නිවෙන දැල්වෙන විදුලි පහන්, ඝෝෂාකාරී නළා, අධික ශබ්දය සහිත සයිලන්සර් ඉවත් කිරීමට රියැදුරන්ට උපදෙස් ලබාදෙනු ඇත. ඒ අතර රියදුරුට මාර්ගය පැහැදිලිව නොපෙනෙන ලෙස ඉදිරිපස වීදුරුව ඉදිරිපිට සවිකර ඇති අමතර කොටස් මෙන්ම ඉෂ්ට රූප ඉවත් කිරීමටද උපදෙස් ලබාදෙන බව බුද්ධික මනතුංග මහතා කීය.
දෙවැනි මෙහෙයුමේ දී සිදුවන්නේ පොදු මගී ප්‍රවාහන බස් රථ ධාවනය කරන රියැදුරන් බස් රථ ධාවනය කරන විට සිදුකරන මාර්ග නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම බව ද බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය. සති දෙකක කාලයක් සිදුවන්නේ මෙහි නියමු ව්‍යාපෘතියක් බවත් එහි දී සිදුකරන දැනුම්වත් කිරීම්වලින් අනතුරුව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔහු සඳහන් කළේය.
මෙම වැඩසටහන නොකඩවා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද බුද්ධික මනතුංග මහතා පැවැසීය. විනයගරුක රියැදුරන් ලෙස මාර්ග හා රථවාහන නීති අනුගමනය කරමින් රිය ධාවනයේ යෙදෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලීමක් ද කරන බව බුද්ධික මනතුංග මහතා වැඩිදුරටත් පැවැසීය.
ගයාන් කුමාර වීරසිංහ