Home » මාදිවෙල මන්ත්‍රී නිවාස ලබාදීම මේ සතිය තුළ අවසන්

මාදිවෙල මන්ත්‍රී නිවාස ලබාදීම මේ සතිය තුළ අවසන්

-පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කියයි

by sachintha
January 6, 2025 12:40 am 0 comment

දසවැනි පාර්ලිමේන්තුවට තේරීපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාදිවෙල නිවාස සංකීර්ණයේ ඇති නිවාස ලබාදීම මෙම සතියේදී අවසන් කරන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුලරත්න මහතා දිනමිණට ප්‍රකාශ කළේය.

මාදිවෙල නිවාස සංකීර්ණයෙහි ඇති නිවාසවලින් නිවාස 82ක් මේ වනවිට ලබාදී ඇති බවත් ලබාදීමට තවත් ඉතිරිව ඇත්තේ නිවාස අටක් වැනි සංඛ්‍යාවක් බවත් නියෝජ්‍ය මහලේකම්වරයා පැවසීය.

එම නිවාසවල ප්‍රතිසංස්කරණ කටයුතු වැඩි ප්‍රමාණයක් තිබූ බවත් එම ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිට අවසන් කර ඇති බැවින් එම නිවාස අට ද මෙම සතියේදී ලබාදෙන බවත් ඒ මහතා පැවසීය‍

මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස සංකීර්ණයෙහි නිවාස 120ක් පවතින අතර එයින් නිවාස අටක් සේවාවන් සපයන ආයතන වෙනුවෙන් වෙන්කර ඇත. ඒ අනුව මහජන නියෝජිතයන්ට ලබාදෙන්නේ එම නිවාස අතරින් නිවාස 112 ක් පමණක් බව ද ඒ මහතා පැවසීය. ඒ අනුව පසුගිය පාර්ලිමේන්තුව ද නියෝජනය කළ මෙවර පාර්ලිමේන්තුවට තේරිපත්වූ මහජන නියෝජිතයන් 22ක් එම නිවාස පරිහරණය කරමින් තිබූ බව ද හෙතෙම පැවසීය. ඒ අනුව මේ වනවිට නිවාස 104ක් මහජන නියෝජිතයන්ට ලබාදී ඇති අතර තවත් ලබාදීමට ඉතිරිව ඇත්තේ නිවාස 08 ක් පමණක් වේ.

නිවාස ලබාදීමේදී මහජන නියෝජිතයන්ට පාර්ලිමේන්තුවට ඇති දුර මෙන්ම කරුණු ගණනාවක් කෙරෙහි අවධානය යොමුකිරීම සිදුවේ. එමෙන්ම මෙවර නිවාස ලබාදී ඇත්තේ කිලෝමීටර් සියයට වැඩි දුරක් සහිත මහජන නියෝජිතයන්ට වේ.

මෙම නිවාසවල ලබාදීමේදී ඊට අදාළව කුලියක් අයකරන අතර එය මහජන නියෝජිතයන්ගෙන් අඩුකර ගැනීම සිදුවේ. එමෙන්ම එම නිවාසවල විදුලි බිල, ජල බිල ආදිය ද මහජන නියෝජිතයින්ගේ වැටුපෙන් අඩු කර ගැනීම සිදුවන අතර නිවාස ලබාදීමේදී එම නිවාසවලට අවශ්‍ය ගෘහභාණ්ඩ පාර්ලිමේන්තුවෙන් ලබාදීම සිදුවන්නේ නැත. රුපියල් දෙදහසකට ආසන්න මුදලක් මාසික කුලිය ලෙස මෙම නිවාස වෙනුවෙන් අයකර ගැනීම සිදුවන අතර මාසිකව රුපියල් දෙදහසක අමතර මුදලක් ද මාසිකව තැන්පතුවක් ලෙස තබා ගැනීම සිදුවේ. වසර 40ක් පැරණි මෙම නිවාසවල එක් නි‍ෙවසක් කාමර තුනකින් සමන්විත වේ.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT