කැනඩාවේ රැකියාවක් සඳහා ගොස් සිටි වවුනියාවේ තරුණයකු මෝටර් රථයක් තුළ මියගොස් සිටියදී ඔහුගේ සිරුර කැනේඩියානු පොලීසිය ඉකුත් (04) දා සොයා ගෙන තිබේ.
වවුනියාවේ, සෙට්ටිකුලම, වීරපුරම් ප්‍රදේශයේ පදිංචි ජේකොබ් නෙවිල් ඩිලක්ෂන් නමැති 21 හැවිරිදි මෙම තරුණයා ගමන් කළ මෝටර් රථයේ දොරවල් විවෘත නොවීම නිසා ඔහු ඒ තුළ සිර වී මියගොස් ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළිව තිබේ.
තරුණයා මියගොස් සිටි මෝටර් රථය පරීක්ෂාවට ලක් කළ පොලීසිය ද එම නිගමනයේ සිටින අතර මියගිය තරුණයාගේ මරණය සම්බන්ධයෙන් පොලීසිය පූර්ණ වෛද්‍ය පරීක්ෂණයක් ඉල්ලා තිබේ.
තරුණයා මියගිය කැනඩාවේ ටොරෙන්ටෝ ප්‍රදේශයේ වීදිවල සී.සී. ටී.වී. කැමරා පද්ධති කීපයක්ම පොලීසිය විසින් පරීක්ෂාවට ලක් කොට තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ මාර්ගයේ අයිනක මෝටර් රථය නවත්වා තරුණයා පැයකට අධික කාලයක් රථය තුළ සිට ඇති බවයි. කැනඩාවේ ටොරෙන්ටෝ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ