ජාත්‍යන්තර “FACETS Sri Lanka – 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පෙරේදා (04) ආරම්භ විය. “FACETS Sri Lanka 2025”ප්‍රදර්ශනය මඟින් අපනයනයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 1කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගැනීම අපේක්ෂා කෙරේ.
මෙහිදී ජනාධිපතිවරයා ප්‍රදර්ශනයේ තිබූ මැණික් හා ස්වර්ණාභරණ කුටි නිරීක්ෂණයට ද එක් වූ අතර ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA), ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමඟ එක්ව සංවිධාන කරනු ලබන FACETS Sri Lanka අන්තර්ජාතික මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය හෙටත් (06) පැවැත්වේ.
ශ්‍රී ලංකාවට ප්‍රථම වරට පැමිණෙන ලොව පුරා කීර්තිමත් මැණික් හා ස්වර්ණාභරණ සමාගම්වල නියෝජිතයන් රැසක් ද ප්‍රදර්ශනයට සහභාගී වී සිටින අතර රත්නපුර, ඇළහැර, බේරුවල, ඇහැලියගොඩ, ගාල්ල සහ කොළඹ වැනි දේශීය කර්මාන්ත මැණික් ගැරුම්කරුවන් රැසක්ද සහභාගි වී සිටිති. ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka මෙවර පැවැත්වෙන්නේ 31 වන වරට වන අතර චීනය, ඉන්දියාව, එක්සත් ජනපදය, යුරෝපය සහ තවත් බොහෝ රටවල නියෝජිතයෝ ඊට එක්වී සිටිති.
මේ කර්මාන්තයේ ප්‍රමුඛයන්ගේ ප්‍රධාන අරමුණක් වන්නේ ලොව පුරා වෙළෙඳුන්, අපනයනකරුවන් සහ තවත් බොහෝ අය සමඟ ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කිරීමයි.
දේශීය හා ගෝලීය මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නරඹන්නන් වඩාත්ම උනන්දුවෙන් එක්වන “FACETS Sri Lanka 2025” ශ්‍රී ලංකාවේ උසස් මැණික් හා ස්වර්ණාභරණ උරුමයෙහි විවිධත්වය සහ තිරසරත්වය පිළිබඳ කවුළුව වන අතර කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත්, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහත්වරු, තානාපතිවරු ඇතුළු ආරාධිත පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
උපාලි කරුණාරත්න
ඡායාරූප – සුදත් නිශාන්ත