Tuesday, April 22, 2025
Home » හිටපු ජනපති රනිල් ඕනෑම අර්බුදයකට මුහුණදීමට සූදානම්

හිටපු ජනපති රනිල් ඕනෑම අර්බුදයකට මුහුණදීමට සූදානම්

-හිටපු මන්ත්‍රී වජිර අබේවර්ධන

by sachintha
January 6, 2025 1:08 am 0 comment

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළ ආර්ථික පරිවර්තන නීතිය වත්මන් රජය අකුරක් නෑර ක්‍රියාත්මක කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ, මල් පාරේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී පසුගියදා (02) පැවති මධ්‍ය හමුවකදීය.

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී සහ කොළඹ මල් පාර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී මෙදින නව වසරේ වැඩ ආරම්භ කරනු ලැබීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

“එක්සත් ජාතික පක්ෂය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන මහජන පරමාධිපත්‍ය බලගැන්වීමේ දැවැන්ත වැඩපිළිවෙළක් මේ වසරේදී බලගැන්වීමට කටයුතු කළ යුතුව තිබෙනවා. ඒ සඳහා දැවැන්ත සංවිධානයක් අවශ්‍යයි. අලියා ලකුණ යටතේ අප ඒ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා.

අනාගතයේදී රටේ ඇතිවීමට නියමිත ආර්ථික, දේශපාලන, සමාජ අර්බුද සඳහා මුහුණ දීමට අවශ්‍ය කරන නව ගමන් මාර්ගය එළිපෙහෙළි කරගැනීමේ සාකච්ඡා මේ වනවිට ආරම්භ කර තිබෙනවා. එහි අවසාන වැඩසටහන මේ සතියේදී නායකතුමාගේ අනුමැතියෙන් පසුව ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ ඇති වන ඕනෑම අර්බුදයකට මුහුණදීමට සූදානම්ව සිටිනවා. මේ රට බංකොලොත්වූ අවස්ථාවේදී ඔහු තනි පුද්ගලයකු ලෙස ඒ අභියෝගය භාර ගත්තා. අවබෝධයක් නැති අය ඒ සම්බන්ධව විවිධ විවේචන ඉදිරිපත් කළා. මේ රටේ අට වැනි විධායක ජනාධිපති ධුරය භාර ගත්තේ එක අසුනකට සීමාවී තිබූ එක්සත් ජාතික පක්ෂය බව අමතක කළ යුතු නෑ. තමාට ගැළපෙන, නොගැළපෙන ජනතා නියෝජිතයන් සමඟ කටයුතු කරමින් ඔහු අභියෝග ජය ගන්න කටයුතු කළා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT